හෙරොයින් සමග සැකකරුවෙකු ආමර් වීදියේදී අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික හෙරොයින් සමග සැකකරුවෙකු ආමර් වීදියේදී අත්අඩංගුවට

by Staff writer 07-01-2019 | 6:43 AM

COLOMBO (News 1st) - ආමර් වීදිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එහි වටිනාකම රුපියල් කෝටි එක හමාරකට අධික බවයි. එහි සම්පූර්ණ බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 640 කි. ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ මිරානියා වීදියේ පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකි. පසුගිය වසරේ දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 275 යි ග්‍රෑම් 263 ක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එම බලකාය සඳහන් කළේ, හෙරොයින් සම්බන්ධයෙන් පමණක් වැටලීම් 926 ක් සිදුකර සැකකරුවන් 951 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් වැටලීම් 2030 ක් සිදුකර සැකකරුවන් 1786 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. ගංජා සම්බන්ධයෙන් වැටලීම් 224 ක් සිදුකර සැකකරුවන් 225 දෙනෙකු අත්අඩංගුංවට ගෙන ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට පත් වූ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 213 යි ග්‍රෑම් 244 කි. කේරල ගංජා කිලෝග්‍රෑම් 1056 යි ග්‍රෑම් 569 ක් ද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 315 ක්.