ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක ප්‍රධානත්වයෙන් රැස්වෙයි

by Staff writer 07-01-2019 | 6:23 PM
COLOMBO (News 1st) : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. පුරප්පාඩු වී ඇති උපරිමාධිකරණ විනිසුරු ධූරයන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නිර්දේශයන් පිළිබඳව අද ව්‍යවස්ථා සභාවේ මූලික අවධානය යොමුවූ බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවු බව එම නිවේදනයේ සඳහන් ය. එමෙන්ම, පුරප්පාඩු වී පැවති ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනාධිපතිවරයා විසින් මින් පෙර නිර්දේශ කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබූ නාමයන් ද අද දින රැස්වීමේ දී යළි තහවුරු කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් උපරිමාධිකරණ අධිකරණ විනිසුරු ධුර 04 ක් සඳහා නව පත්වීම් සිදු කිරීමට නියමිත බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.