විදෙස් ගුවන් යානයක් අවසරයකින් තොරව රටින් පිටව යයි

රටට ඇතුළු වූ විදෙස් ගුවන් යානයක් නිසි අවසරයකින් තොරව යළි රටින් පිටව යයි

by Staff writer 06-01-2019 | 5:17 PM
COLOMBO (News 1st) : විදේශීය ආයෝජකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයක් අනවසරයෙන් යළි රටින් පිටව ගොස් තිබේ. චීන, සිංගප්පුරු සහ හොංකොං ආයෝජකයින් රැගත් අදාළ  පෞද්ගලික ගුවන් යානය මෙරටට පැමිණ තිබුණේ පසුගිය 3 වැනිදායි. කටුනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට ගොඩබැස්සූ යානය විශේෂ අවසරයක් සහිතව ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයට ගොඩබස්වා තිබිණ. ඒ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් විශේෂ අවසරයකට අනුවයි. අනතුරුව අදාළ යානය මෙරට අනුමත ගුවන් තොටුපොළක් නොවන ස්ථානයකින් මෙරටින් පිටව ගොස් තිබේ. මෙරට ආගමන - විගමන නීතිය සහ සිවිල් ගුවන් සේවා නීතියට අනුව විදේශිය ගුවන් යානයකට අනුමත ගුවන් තොටුපොළක් නොවන ස්ථානයකින් රටින් පිටවීමට අවසරයක් හිමිනොවේ. ඒ අනුව අදාළ ගුවන් යානය මෙරටින් පිටව ගොස් ඇත්තේ නිසි අනුමැතියකින් තොරවයි. ආගමන - විගමන දෙපාර්තමේන්තුවෙන් රටින් පිටවීම සඳහා නෞකාවලට ලබාදෙන අවසරයක් ලබා ගනිමින් අදාළ ගුවන් යානය මෙරටින් පිටව ගොස් ඇති බව ද නිවුස් ෆස්ට් වෙත වාර්තා විය.