අර්ජුණ මහේන්ද්‍රන්ගේ පියාට සිහි කැඳවීමක්...

අර්ජුණ මහේන්ද්‍රන්ගේ පියා චාලි මහේන්ද්‍රන්ට සිහි කැඳවීමක්...

by Staff writer 06-01-2019 | 8:43 PM
COLOMBO (News 1st) : හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාගේ පියාණන් වන චාලි මහේන්ද්‍රන් මහතා දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ සඳහන් වන්නේ ඔහුගේ පුත්‍රයා අපරාධකරුවෙකු ලෙස පෙන්වා දුන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි. අදාළ ලිපිය ඔස්සේ චාලි මහේන්ද්‍රන් මහතා ප්‍රශ්නයක් යොමු කර තිබේ. ඉන් ඔහු විමසා ඇත්තේ සිය පුත්‍රයා අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීමට ඇති සාක්ෂි මොනවා ද යන්නයි. එමෙන්ම අර්ජුණ මහේන්ද්‍රන් වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට විශ්වාස කරන බව ද චාලි මහේන්ද්‍රන් මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන චාලි මහේන්ද්‍රන් මහතා වැඩිදුරටත් කරුණු කිහිපයක් දක්වා තිබේ. එනම්, *පිටිපන කමිටු වාර්තාව, ශ්‍රේෂ්ඨාධිකරණය හා කෝප් වාර්තාව අර්ජුණ මහේන්ද්‍රන් කිසිදු වරදක් කළ බවට සඳහන් කර නොමැති බව. *බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ස්ථාපනය කළේ ඉන් අනතුරුව වීම. *අර්ජුන් මහේන්ද්‍රන් මහතා යළි දිවයිනට පැමිණිය හොත් එය විශාල දේශපාලනික කරුණක් බවට පත්වීම. නිදහස් සැමරුම දා අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම ඔස්සේ ද මෙහි දේශපාලනික කාරණා මතු වන බව චාලි මහේන්ද්‍රන් මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පවසා තිබේ. දේශපාලන හසුරුවන්නන් සිය මාධ්‍ය සගයින් සමග අර්ජුන් මහේන්ද්‍රන්ව සිව් වසරක් පුරා මන්ත්‍රයක් ලෙස දේශපාලන පක්ෂයකට දූෂණ චෝදනා එල්ල කිරීමට භාවිත කරන බව ද හිටපු මහ බැංකු අධිපතිවරයාගේ පියා වන චාලි මහේන්ද්‍රන් මහතා සිය ලිපියේ දක්වා තිබේ. නමුත් සැබෑව මීට හාත්පසින්ම වෙනස් නොවන්නේ ද.? චාලි මහේන්ද්‍රන් මහතා පවසන පිටිපන කමිටුව නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂයට සෘජුව සම්බන්ධ නීතිඥයින් තිදෙනෙකුයි. කෝප් කමිටුවට ඇඟිල්ල දිගු කිරීමේ බලයක් නැහැ. ඔවුන්ට ඇත්තේ කරුණු එක් රැස් කිරිමේ බලයක් පමණි. ශ්‍රේෂ්ඨාධිකරණය කිසිවිටක බැඳුම්කර නිකුතුව පිළිබඳ නඩු කටයුත්තක් විමසා නොමැති බව රට ම දන්නා කරුණකි. චාලි මහේන්ද්‍රන් මහතා පුවත්පතකට මෙලෙස පැවසුව ද එතුමාගේ ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බව ජනාධිපති කොමිසම් වාර්තාව පරිශීලනයේදී සනාථ වේ. - උපුටා ගැනීම - අපි ප්‍රකාශ කරනවා පර්පචුවෙල් සමාගම ලබාගත් මුළු මුදලෙන් කොටසක් මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමෙන් හා වෙළඳපොළ කෘතිමව වෙනස් කිරීමෙන් ලබාගත් මුදල ආසන්න වශයෙන් මිලියන 8529කි. - උපුටා ගැනීම අවසන් - 2015 වසරේ පත්වූ රජයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා අදටත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ අග්‍රාමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇත්තේ මෙරට අධිකරණය ස්වාධීන හා ශක්තිමත් එකක් බවයි. එහෙව් ශක්තිමත් හා ස්වාධීන අධිකරණයකට අර්ජුණ මහේන්ද්‍රන් මහතා ඔහුගේ පිය පවසන ආකාරයට බිය වන්නේ ඔහු වරදකරුවෙකු නිසා ද.? නිවුස් ෆස්ට් ඇතුළු පෞද්ගලික මාධ්‍ය ආයතන දිගින් දිගටම වෝහාරික විගණනයක් මේ සම්බන්ධයෙන් කළ යුතු බව පෙන්වා දුන්නේ ය. බැඳුම්කර කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට ලබාදුන්නේ 2017 වසරේ දෙසැම්බර් මාසයේදීයි. වසරකට අධික කාලයක් ගතව තිබියදීත් මෙම බරපතළ මූල්‍ය වංචාවට වෝහාරික විගණනය සිදුව නොමැත. ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවට අදාළ උදෑසන සාකච්ඡාවල සිටම මෙම වංචාව සංවිධානාත්මකව සිදුවූ බව මේ පිළිබඳ නිරීක්ෂණ කළ සැම දන්නා කරුණකි. චාලි මහේන්ද්‍රන් මහතා පුවත්පත් වාර්තාවක් හරහා මවා පාන්නට උත්සහ කරන කරුණුවලට වඩා සත්‍ය හාත් පසින්ම වෙනස් බව යළි යළිත් සහතික වන්නේ ජනාධිපති කොමිසමේ සඳහන් කරුණු අනූව සිදූවූ පාඩුවෙන් රුපියල් මිලියන 688ක මුදලකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුව වගකිව යුතුයි. මාධ්‍යයට චෝදනා කරන අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පියා වන චාලි මහේන්ද්‍රන් මහතාට සිහිපත් කළ යුතු කරුණු කිහිපයක් බේ. දූෂිත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව තවමත් කරළියට පැමිණ ඇත්තේ ජනාධිපති කොමිසම් වාර්තාව පමණි. රටම ඉල්ලූ වෝහාරික විගණන වාර්තාව ඉදිරියේදී රට හමුවේ ඉදිරිපත් වීමට නියමිතයි. එම නිසා මාධ්‍යයට චෝදනා කිරීමට පෙර සිය පුතණුවන් සහ ඔහුට හිතවත් දේශපාලනඥයින් එක්ව ළල මේ දූෂිත ගනුදෙනුව පිළිබදව යථාර්ථය අවබෝධ කර ගත යුතුව තිබේ.