අමෙරිකානු රජය යළි ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා

අමෙරිකානු රජය යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථකයි

by Staff writer 06-01-2019 | 10:11 AM

අර්ධ අක්‍රිය තත්ත්වයට පත් ව ඇති අමෙරිකානු ආණ්ඩුව යථා තත්ත්වයට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර ඊයේ පැවති සාකච්ජා අසාර්ථක වී තිබේ.

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි සඳහන් කළේ, සාකච්ඡා අසාර්ථකවීම හමුවේ අක්‍රිය වූ රජය යළි පනගැන්වීමට අදාළ නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට ලබන සතියේදී ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් ප්‍රයත්න දරනු ඇති බවයි. අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙක්සිකෝව, අමෙරිකාවෙන් වෙන්කර ඉදිකෙරෙන පවුරට, අයවැයෙන් ඩොලර් බිලියන 5. 6 ක අරමුදල් වෙන්කිරීම ප්‍රතික්ෂේප කළ ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරුන්, පවුරට අරමුදල් වෙන් කිරීමෙන් තොරව රජය යළි ක්‍රියාත්මක කිරීමට අදාළ පනතක් පසුගිය දා සම්මත කිරීමට පියවර ගත්තේ ය. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් පවසන්නේ අමෙරිකාව, මෙක්සිකෝවෙන් වෙන් කෙරෙන පවුර ඉදිකිරීමට අරමුදල් වෙන් කරන තෙක් පනත් කෙටුම්පතට අත්සන් නොතබන බවයි. කොංග්‍රසයේ අනුමැතියෙන් තොරව, මෙක්සිකෝව අමෙරිකාවෙන් වෙන්කෙරෙන පවුර ඉදිකිරීම ජාතික හදිසි තත්ත්වයක් බවට ප්‍රකාශයට පත් කළ හැකි බවට ද ජනපති ට්‍රම්ප් අනතුරු ඇඟවූවේ ය. ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, දැනට පවතින ආණ්ඩුවේ අර්ධ අක්‍රිය තත්ත්වය වසර ගණනාවක් පැවතුන ද තමන් ඊට සූදානම් බවයි. අමෙරිකානු ආණ්ඩුවේ අර්ධ අක්‍රිය තත්ත්වය හේතුවෙන් ෆෙඩරල් රාජ්‍ය සේවකයන් ලක්ෂ අටකට පමණ ඉකුත් දෙසැම්බර් 22 වන දා සිට වැටුප් ලැබී නැත.