සුනඛයෙකු ගිනි තබා මරා දැමීම: අයෙක් අත්අඩංගුවට

සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 05-01-2019 | 11:31 AM
COLOMBO (News 1st) - මීගමුව, කොප්පර හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මීගමුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව ය. සැකකරු ප්‍රදේශයේ කුලී කම්කරුවෙකු ලෙස සේවය කරන්නෙකි. සුනඛයා සිටි කූඩුවට භූමිතෙල් ගසා එලෙස ගිනි තබා තිබුණේ පසුගිය 31 වන දා රාත්‍රියේයි. ඉන් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ලැබ්බ්‍රඩෝ වර්ගයේ සුනඛයා පසුගිය පළමු වන දා මිය ගියේ ය. මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. අදාළ සුනඛයා ගිනි තබා මරා දැමීම සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්නැයි ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ අනුව 071 859 16 30 හෝ 071 859 16 26 යන දුරකතන අංකවලට ඒ පිළිබඳව දැනුම් දිය හැකි ය.