බංග්ලාදේශ මැතිවරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

බංග්ලාදේශ මහ මැතිවරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතීන් ඉල්ලයි

by Staff writer 05-01-2019 | 11:52 AM
(News 1st) - දූෂණ සහ අක්‍රමිකතා චෝදනා එල්ල වීම හමුවේ බංග්ලාදේශ මහ මැතිවරණය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පැවති ඉඩ ප්‍රස්ථාවන් අහිමි කරමින් සහ නීතියේ ආධිපත්‍යයට බලපැම් වන පරිදි සමස්ත මැතිවරණ ක්‍රියාවලිය දියත් වූ බවට විවිධ පාර්ශව විසින් එල්ල කරන ලද චෝදනා හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව ය. පසුගිය 30 වන දා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් පාලක අවාමි ලීගය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. ඒ අනුව තුන්වැනි වරටත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වූ ශෙයික් හසීනාගේ පාලක පක්ෂය වන අවාමි ලීගය මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 281ක් ජයග්‍රහණය කළේ, මීට පෙර එම පක්ෂය ලබා ගත් මැතිවරණ ජයග්‍රහණය ද ඉක්මවා යමිනි. කෙසේ වෙතත් මෙය දූෂණ සහ අක්‍රමිකතා සිදු වූ මැතිවරණයක් බවට චෝදනා කරමින් විපක්ෂ නායක කමල් හොසේන්, මෙම ප්‍රතිඵල අවලංගු කර නව මැතිවරණයක් පවත්වන ලෙස ද මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේ ය. මැතිවරණය පැවැත්වුණු ඊයේ දින තුළ පමණක් පාලක පක්ෂය සහ විපක්ෂ ආධාරකරුවන් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.