ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට කමිටුවක්

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්

by Staff writer 04-01-2019 | 4:58 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබා ගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සඳුදා පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව සති දෙකක කාලයක් තුළදී අදාළ නිර්දේශ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු වේ. ජනාධිපතිවරයා සඳහන් කළේ, එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳව ගත යුතු ඉදිරි තීන්දු තීරණවලට එළැඹෙන බව ය. ශ්‍රීලංකන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය. ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩි දියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට භාර දීමට ඒ අනුව සියලු පාර්ශවයන්ට අවස්ථාව හිමි වන බව ය. ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩු අවම කර ගනිමින් ඉදිරියේදී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.