by Staff writer 03-01-2019 | 8:38 PM
COLOMBO (News 1st) - සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටු වාර්තාව තවත් අපූරු කරුණු රැසක් හෙළිදරව් කරයි.
මෙම ගිවිසුමේ කෙටුම්පත ප්‍රථමයෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් කළ ප්‍රමුඛම නිර්දේශය වන්නේ, මෙම යෝජිත වෙළෙඳ ගිවිසුම ශ්‍රී ලංකාවේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය අනුව සකස් විය යුතු බව ය.
නමුත් ඒ ආකාරයෙන් ප්‍රතිපත්තියක් නොතිබුණු බව එවකට සිටි කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය.
මේ පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කෙරෙන විට ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංවර්ධන උපාය මාර්ග ඇමතිවරයා කළේ "නව වෙළෙඳ ප්‍රතිපත්තිය" නමින් ලියැවිල්ලක් කඩිමුඩියේ පළ කර ඒ ඔස්සේ ගිවිසුම සකස් කළ බව පෙන්වීමට උත්සහ කිරීමයි.
නමුත් මේ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කළ විශේෂඥ කමිටු වාර්තාවේ දැක්වෙන්නේ, අදාළ "නව වෙළෙඳ ප්‍රතිපත්තිය" අධ්‍යාපන වාර්තාවක් මිස කිසිසේත්ම ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය ලෙස සැලකිය නොහැකි මට්ටමේ ලියැවිල්ලක් බව ය.
එමෙන් ම මෙම කුප්‍රකට ලියැවිල්ල කිසිසේත්ම වෙනත් ජාතික ප්‍රතිපත්තීන් සමග සම්බන්ධයක් නැති හුදෙකලා ලේඛනයක් පමණක් බව ද මෙම වාර්තාව සඳහන් කර තිබේ.
වාර්තාව සඳහන් කරන ආකාරයට මේ ගිවිසුම පිළිබඳව සාකච්ඡා ආරම්භ වන්නේ, 2016 වසරේ අගෝස්තු 16 වන දා ය.
එහෙත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හා සම්බන්ධ වන මෙවන් අතිශය වැදගත් කටයුත්තක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන නමුත් සංවර්ධන උපාය මාර්ග ඇමතිවරයා එම අනුමැතිය සඳහා කැබිනට් පත්‍රිකාව 2017 ජුලි 4 වන දා ඉදිරිපත් කරන විට සාකච්ඡා වාර 5ක් පවත්වා අවසන් ය.
එනම් මේ කටයුත්ත ආරම්භ කරන්නේ ද කිසිදු නීතිමය අනුමැතියකින් තොරව ය.
මෙම වාර්තාවේ පරිදි යෝජිත අවසාන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කළ දිනය ලෙස ඇමතිවරයා පවසන්නේ, 2017 වසරේ දෙසැම්බර් 22 වන දා ය.
නමුත් ගිවිසුමේ ඇතැම් කොන්දේසි පිළිබඳ සාකච්ඡා ජනවාරි 12 වන දා සවස 4.45ටත් සිදු වී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත් වාර්තා මගින් අනාවරණය වේ.
මෙයින් පෙනී යන්නේ, සැබවින්ම අවසාන කෙටුම්පත ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අංග සම්පූර්ණ නොවූ ලියැවිල්ලක් බව ය.
මේ ආකාරයේ බරපතළ අත්වැරදීම් ගණනාවක් සිතා මතාම හෝ නොසැලකිලිමත්කමින් සිදු වී ඇති බව පවසන වාර්තාව ඊට වගකිව යුත්තේ ආයෝජන ප්‍රවර්ධන හා සංවර්ධන උපාය මාර්ග අමාත්‍යවරයා බව පවසයි.