ලසිත් මාලිංගට 20%ක දඩයක්

ලසිත් මාලිංගට 20%ක දඩයක්

by Staff writer 03-01-2019 | 9:10 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තය අද ලකුණු 45කින් ජය ගත්තේ ය. නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඉනිම ආරම්භ කළේ මාටින් ගප්ටිල් සහ කොලින් මන්රෝ. මුන්රෝ ලකුණු 13කට දැවී ගියේ ය. නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් එක්දින ලකුනු 6000 සීමාව අද පසු කළේ ය. ගප්ටිල් සමග එක් වූ නායක කේන් විලියම්සන් නවසීලන්ත දෙවැනි කඩුල්ලට ලකුණු 163ක සබඳතාවක් ගොඩනැගුවේ ය. විලියම්සන් ලකුණු 76ක් රැස් කළ අතර රොස් ටේලර් ලකුණු 54යි. එක්දින පිටියේ 14 වන ශතකය වාර්තා කළ මාටින් ගප්ටිල් ලකුණු 138ක් රැස් කළේ ය. වේගවත් පිතිහරඹයක නිරත වූ ජේම්ස් නීෂාම් පන්දු 13කින් ලකුණු 47ක් රැස් කළේ, 6 පහර 5ක් ද සමගිනි. තිසර පෙරේරා යොමු කළ තරගයේ 48 වන පන්දුවාරයේදී නීෂාම් හයේ පහර 5ක් එල්ල කිරීම විශේෂත්වයකි. තිසර පෙරේරා, නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංග අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ. නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 371ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලයි. ඔවුන් දෙදෙනා අතර ශ්‍රී ලංකා පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 119කි. ගුණතිලක ලකුණු 43ක් රැස් කළ අතර දික්වැල්ල ලකුණු 76යි. එක්දින දිවියේ සිව් වන ශතකය වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 102ක් රැස් කළේ ය. කුසල් මෙන්ඩිස් ලකුණු 18යි. නායක ලසිත් මාලිංග ලකුණු 11කට දැවී ගියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ, ලකුණු 326ක් පමණි. මේ අතර තරගයේ නියමිත පන්දුවාර ප්‍රමාණය නියමිත කාලය තුළ යොමු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වීම හේතුවෙන් නායක ලසිත් මාලිංගට සිය තරග ගාස්තුවෙන් 20%ක් දඩ වශයෙන් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඊට අමතරව සෙසු ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 10%ක මුදලක් ද දඩ වශයෙන් අය කිරීමට තීරණය කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්විණි.