මන්නාරම සමූහ මිනි වලේ කැනීම් වපසරිය පුළුල් කෙරේ

මන්නාරම සමූහ මිනි වලේ කැනීම් වපසරිය පුළුල් කෙරේ

by Staff writer 03-01-2019 | 12:27 PM

COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනි වලේ කැනීම් වපසරිය පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

කැනීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, පසුගිය දෙසැම්බර් 21 වැනි දා සිට තාවකාලිකව නවතා දමා තිබූ මන්නාරම සමූහ මිනි වලේ කැනීම් ඊයේ යළි ආරම්භ කළ බවයි. ඒ අනුව අද 122 වැනි දිනටත් කැනීම් කටයුතු සිදු කරනු ඇති. දැනට සිදු කරන ලද කැනීම්වලදී සොයාගත් මිනිස් ඇටසැකිලි 283 ක් මේ වන විට සොයා ගෙන ඇති බව ඔහු පැවසුවේ ය. ඉන් ඇටසැකිලි 274 ක් මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයේ විශේෂිත කුටියක තැන්පත් කර තිබේ. සොයා ගත් ඇටසැකිලි අතර ළමුන් 21 දෙනෙකුගේ යැයි සැක කළ හැකි කුඩා ප්‍රමාණයේ අස්ථි කොටස් හමුවී ඇති බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර මන්නාරම සමූහ මිනි වලෙන් ලබා ගත් සාම්පල සමග එහි රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් අමෙරිකාවට යැවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අදාළ සාම්පල සමග කැනීම්භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා, අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයෙකු හා පොලිස් නිලධාරියෙකු ඇතුළු පිරිසක් අමෙරිකාව බලා පිටත්ව යනු ඇති. මන්නාරම අධිකරණයේ අවසරය මත මේ වනවිට සමුහ මිනි වලෙන් සාම්පල 06ක් කාල නිර්ණය සඳහා ලබා ගෙන ඇත.