මංගලගේ යෝජනාවට රවි විරුද්ධ වෙයි

by Staff writer 03-01-2019 | 8:21 PM
COLOMBO (News 1st) - මේ වසරේ මුල් මාස 4 ඇතුළත ණය වාරික හා පොළී ගෙවීම සඳහා රජයේ බැංකුවලින් අමෙරිකානු ඩොලර් මිලියන දහසක අරමුදල් සපයා ගැනීමට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දී තිබේ. අද දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කළේ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය රවි කරුණානායක මහතා දැඩි ලෙස විරෝධය පළ කළ බව ය. පසුගියදා පාර්ලිමේන්තුව අනුමත කළ අතුරු සම්මත ගිණුමට අනුව අප්‍රේල් මාසය දක්වා රජය රුපියල් බිලියන 990ක ණය, දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබා ගැනීමට නියමිත ය. එම කාල සීමාව තුළ විදේශීය ණය වාරික හා පොළි ගෙවීම සඳහා අවශ්‍යව ඇති මුදල රුපියල් බිලියන 434.8 කි. මෙම මූල්‍ය අවශ්‍යතා සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1000ක් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් සම්පාදනය කර ගැනීමට හැකියාව ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ඉදිරිපත් කළ අමත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් ය. අදාළ බැංකු සතුව ඇති විදේශ විනිමය බැංකු ඒකක සහ අක්වෙරළ බැංකු ඒකක තුළින් මෙම මුදල් ලබා ගැනෙණු ඇති. මේ අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු හා විශේෂිත බැංකුවල විදේශ විනිමය ඒකක හා අක්වෙරළ බැංකු ඒකකවලින් ඩොලර් මිලියන 1000ක උපරිමයක් දක්වා ණය ගැනීමට භාණ්ඩාගාරයට බලය පැවරීමට මුදල් අමාත්‍යවරයා සිය සංදේශයෙන් අවසර ඉල්ලා තිබේ. දි අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කළේ, රවි කරුණානායක මහතා මෙම යෝජනාවට දැඩි ලෙස විරෝධය දැක් වූ බව ය. නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මලික් සමරවික්‍රම සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන් මංගල සමරවීර මහතාගේ යෝජනාවට සහය පළ කර ඇතැයි එම පුවත්පත් වාර්තාවේ සඳහන් ය. අවසානයේ අදාළ යෝජනාව අනුමත කර ඇති අතර රවි කරුණානායක අමාත්‍යවරයාගේ විරෝධය වාර්තාගත කර තිබේ.