2018 වසරේදී ගුවන් අනතුරුවලින් 556ක් මරුට

2017ට සාපේක්ෂව ඉකුත් වසරේ ගුවන් අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

by Staff writer 02-01-2019 | 11:59 AM
COLOMBO (News 1st) - 2017 වසරට සාපේක්ෂව ඉකුත් වසරේ ගුවන් යානා කඩා වැටීම්වලින් ලොව පුරා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි. ලෝක ගුවන් ආරක්ෂණ ජාලය වාර්තා කළේ, 2017 වසරේදී ලොව ගුවන් අනතුරුවලින් මිය ගිය පිරිස 44ක් ලෙස සටහන් වූ නමුත් 2018 වසරේදී එය 556 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය. ඒ අනුව ඉකුත් වසරේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර ලෙස ඉකුත් ඔක්තෝබර් මාසයේ ඉන්දුනීසියාවේ ලයන් ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 189 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීම සැලකේ. 2017 වසර සැලකෙන්නේ වාණිජ ගුවන් යානා ඉතිහාසයේ ආරක්ෂිතම වසර ලෙසයි. එම වසරේදී කිසිදු මගී ගුවන් යානයක් කඩා නොවැටීම ඊට හේතු විය. 2018 වසරේදී සිදු වූ මාරක ගුවන් අනතුරු සංඛ්‍යාව 15කි. කෙසේ වෙතත් ඉකුත් දශක දෙකක කාලය තුළ ගුවන් යානා ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද ලෝක ගුවන් ආරක්ෂණ ජාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.