ශෂී වීරවංශ ගැන තවත් අනාවරණයක්

ශෂී වීරවංශ ගැන තවත් අනාවරණයක්

by Staff writer 01-01-2019 | 5:29 PM
COLOMBO (News 1st) - තම දරුවන් දෙදෙනාගේ උප්පැන්න සහතිකවල සඳහන් තමන්ගේ වයස අවුරුදු 4කින් අඩු කර සංශෝධනය කරන ලෙස හා තමන්ගේ නම සංශෝධනය කර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබූ බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ටර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ ය. එහෙත් උපන් වසර හා නම සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ ලේඛන අතර වූ ඇගේ උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බව පසුව සිදු කළ පරීක්ෂණවලදී අණාවරණය වූ බව ඔහු තම සාක්ෂියේදී කියා සිටියේ ය. සුමතිපාල හෙට්ටිආරච්චි මහතා සාක්ෂි ලබා දෙමින් පැවසුවේ, සැකකාර ශෂී විරවංශ මහත්මිය තම කාර්යාලයට පැමිණි පසු එවකට අමාත්‍ය ධූරයක් දැරූ විමල් වීරවංශ මහතා තමාට දුරකතනයෙන් අමතා ඉතා හදිසි කටයුත්තක් නිසා සිය දරුවන්ගේ උප්පැන්න ලේඛනවල අදාළ සංශෝධන කර දෙන ලෙස ඉල්ලා සිටි බව ය. එම ඉල්ලීම අනුව ඇය ඉදිරිපත් කළ නව ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය සලකා බලා අවශ්‍ය සංශෝධනය කර දෙන ලෙසට තමා නියෝග කළ බව ද විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ටර් ජනරාල්වරයා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ ය. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සකස් කළ ජාතික හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමින් සකස් කළ විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 14 වන දින දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා ය.