ගෙවී ගිය වසරේ හොඳ ම ක්‍රීඩිකාව ස්මිත්‍රි මන්දනා

ගෙවී ගිය වසරේ හොඳ ම ක්‍රීඩිකාව ස්මිත්‍රි මන්දනා

by Staff writer 01-01-2019 | 9:20 AM
COLOMBO (News 1st) : ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනි ස්මිත්‍රි මන්දනා 2018 වසරේ හොඳ ම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලැබ තිබේ. 2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා පදනම් කරගෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රීඩිකාවන් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව වසරේ හොඳ ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමිවන රේචල් හෙහේ ෆිලින්ට් සම්මානය මෙවර හිමිවුණේ, ඉන්දීය ආරම්භක පිතිකාරිනි ස්මිත්‍රි මන්දනාටයි. වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිඩිකාව ලෙස ඇය නම් කෙරිණ. 22 හැවිරිදි ස්මිත්‍රි මන්දනා අන්තර්ජාතිත ක්‍රිකට් කවුන්සිල විසින් මෙම වසරේදී නම් කළ වසරේ කාන්තා එක්දින කණ්ඩායමට ද ඇතුළත් වීම විශේෂත්වයකි. ස්මිත්‍රි මෙම වසරේදී එක්දින ජාත්‍යන්තර තරග 12 කට සහභාගී වෙමින් ලකුණු 669 ක් හා පන්දුවාර 20/20 තරග 25 කට ක්‍රීඩා කරමින් ලකුණු 662 ක්ද රැස් කරගෙන සිටී. මේ අතර ඔස්ට්‍රේලියා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා ඇලීස් හේලි වසරේ පන්දුවාර 20/20 ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කර තිබේ. නිමාවට පත්වු පන්දුවාර 20/20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6 කදී ඇලීසා ලකුණු 225 ක් රැස් කර ගත්තේ ය. එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩිකා සොෆි එක්ලෙස්ටෝන් වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අනත්ර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් නම් කෙරිණ.