බේරුවල මුහුදේ හෙරොයින් ජවාරම: තවත් අයෙක් දැලේ

බේරුවල මුහුදේ හෙරොයින් ජවාරම: තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

by Staff writer 31-12-2018 | 8:40 AM
COLOMBO (News 1st) : බේරුවල මුහුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ හෙරොයින් ජවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගියදා මෙරටදී සොයා ගත් දෙවන විශාලතම හෙරොයින් තොගය ප්‍රවාහනය කළ බෝට්ටුවේ සිටි සැකකරුවන් පස්දෙනාගෙන් අයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. ඊයේ පයාගල ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු සැකකරු 56 හැවිරිදි මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය පැවසුවේ, සැකකරු දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසරය ලබා ගත් බවයි. පසුගිය 6 වනදා අලුයම රුපියල් මිලියන 2700 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් ඒකාබද්ධ මෙහෙයුමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල හා බලපිටිය අතර මුහුදේදී සොයා ගනු ලැබී ය. එහි බර කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54 කි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්ථානයේදී ඇසුරුම්කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එම හෙරොයින් තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට පත් වු අතර සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.