බස් ගාස්තු වැඩියෙන් අය කළොත් 1955ට කියන්න

බස් ගාස්තු වැඩියෙන් අය කළොත් 1955ට කියන්න

by Staff writer 31-12-2018 | 1:45 PM
COLOMBO (News 1st) : නියමිත ගාස්තු ඉක්මවා මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කරන බස් රථ 71ක් සම්බන්ධයෙන් පැමිණිලි මේ වන විට ලැබී ඇතැයි, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ, මගීන්ගෙන් වැඩිපුර මුදල් අයකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 40ක් පළාත් බස් රථ සේවා සම්බන්ධයෙන් ලැබී ඇති බවයි. අන්තර් පළාත් බස් රථ සේවා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 31 වේ. ගතවූ දින 4ක කාලය තුළ පමණක් මෙම පැමිණිලි ලැබී ඇතැයි ද, ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය. කොමිෂන් සභාව පැවසුවේ, ගාස්තු වැඩියෙන් අයකරන බස් රථ සම්බන්ධයෙන් 1955 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පරීක්ෂා කර අවශ්‍ය දඬුවම් ලබාදිය යුතු බවයි.