ගාලුමුවදොර ආශ්‍රිතව විශේෂ ආරක්ෂික වැඩපිළිවෙළක්

ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව විශේෂ ආරක්ෂික වැඩපිළිවෙළක්

by Staff writer 31-12-2018 | 6:48 AM
COLOMBO (News 1st) : කොළඹ, ගාලුමුවදොර පිටිය ආශ්‍රිතව අද රාත්‍රීයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. එහි මාර්ග ආරක්ෂාව හා රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, නව වසරේ උදාව සැමරීම සඳහා ගාලුමුවදොර පිටියට අධික ජනතාවක් පැමිණීම හේතුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. මේ අතර බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද දිවයිනපුරා ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේ ය. පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ බීමත් රියදුරන් 15,000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවයි. පසුගිය දින 13 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 5000 ඉක්මවයි. පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, වසරේ පළමු මාස 10 තුළ පමණක් බීමත්ව රිය පැඳවිමේ වරද යටතේ, රියැදුරන්ගෙන් රුපියල් මිලියන 2700ක මුදලක් දඩ වශයෙන් අයකර ගෙන ඇති බවයි.