ශ්‍රී ලංකාව පැරදු නවසීලන්තයට ලකුණු 423 ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තයට ලකුණු 423 ක ජයක්

by Staff writer 30-12-2018 | 7:12 AM

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ, දෙරට අතර පැවැති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය නවසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 423 කින් ජය ගනිමිනි. නවසීලන්තයේ සෙන්චූරියන්හිදී පැවැති තරගය අද දිනය සඳහා ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6 ක් දැවී ලකුණු 231 ක් රැස් කරගෙන සිටියහ. කෙසේ වෙතත් අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරුවන් තිදෙනා දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට වැය වූයේ පන්දු 15 ක් පමණි. පන්දුවාර 106 යි පන්දු 2 ක් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දෙවෙනි නිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 236 ක් පමණි.. දිනයේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 18 ක් රැස් කරගෙන සිටි සුරංග ලක්මාල් දැවී ගිය අතර දිල්රුවන් පෙරේරා ලකුණු 22 කට දැවි ගියේ ය. දුෂ්මන්ත චමීර ලකුණු 3 යි. කෙසේ වෙතත් ඊයේ දිනයේ තේ පානය වන විට අබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ ඇන්ජෙලෝ මැතිව්ස් අද දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයට පැමිණියේ නැත. පන්දු යැවීමේදී නෙයිල් වොග්නර් කඩුලු 4 ක් දවා ගත් අතර ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3 ක් හා ටිම් සවුති සවුති කඩුලු 2 ක් දවා ගත්තේ ය. කාසියේ වාසයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයින් රැස් කළ ලකුණු 178 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට ලකුණු 104 ක් රැස් කළ අතර අනතුරුව නවසීලන්ත ක්‍රීඩකයින් සිය දෙවෙනි ඉනිම අත්හිටවූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 585 ක් රැස් කරගෙන සිටියදීයි. ඒ අනුව සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 423 කින් ජය ගැනීමට සමත් වූ අතර එම ජයග්‍රහණයත් සමගින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානය දක්වා පෙරමුණට ඒමට ද ඔවුන් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබු දෙවන ටෙස්ට් තරගාවලිය පරාජය මෙය වන අතර නවසීලන්ත ක්‍රීඩකයින් අඛණ්ඩව ජයගත් සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙය වෙයි.