රගර් ක්‍රීඩකයෙකුට මරු කැඳ වූ විදුලි සෝපාන අනතුර පිළිබඳ පුළුල් විමර්ශනයක් ඇරඹෙයි

by Hashini De Mel 30-12-2018 | 2:13 PM

COLOMBO (News 1st) - රගර් ක්‍රීඩකයෙකුට මරු කැඳවූ කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ රාත්‍රි සමාජ ශාලාව පිහිටි ගොඩනැගිල්ලේ සිදු වූ විදුලි සෝපාන අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

පොලීසය පැවසූවේ, අනතුරට හේතු සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරණු වාර්තා කළ බව පොලීසිය සඳහන් කළේ ය. ඒ අනුව මෙම විදුලි සෝපාන අනතුරට නිශ්චිත හේතුව සොයා තාක්ෂණික වාර්තාවක් කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මිය ගිය රගර් ක්‍රීඩකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ජාතික රෝහලේදී ඊයේ පැවැත් විණි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ, පපු කුහරයට හානීවීමෙන් ඇති වූ ස්වසන අවහිරතා මරණයට හේතුවී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් 12 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය පැවසීය. මෙම සිද්ධියට අදාළ CCTV දර්ශන ලබා දෙන ලෙස ද අධිකරණය නියෝග කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය මේ වන විට ඥාතීන් වෙත භාරදී ඇතැයි පොලීසිය පවසයි. විදුලි සෝපානය කඩා වැටීමෙන් ඊයේ අලුයම (29) ජීවිතක්ෂයට පත් වූ තරුණයා 24 හැවිරිදි කෝකිල සමන්දපෙරුම වේ. එහිදී තරුණයින් කිහිපදෙනෙකු ඊයේ අලුයම 2 ට පමණ මෙම ගොඩනැගිල්ලේ 09 වන මහලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවට යාම සඳහා විදුලි සෝපානයට නැග තිබේ. සෝපානය බිම් මහලේදී යම් අනතුරකට ලක්වීමත් සමග යටිබිම් මහලට කඩා වැටීමෙන් අනතුර සිදු ව ඇතැයි සැක කෙරෙනු ඇත. අනතුරින් තුවාල ලැබූ තව ත් තරුණ දෙදෙනෙකු රෝහල්ගත කෙරුණු ඇති අතර මියගිය කෝකිල සමන්දපෙරුම උතුරු තලංගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වෙස්ලි විද්‍යාලයීය ආදී ශිෂ්‍යයෙකු මෙන්ම වර්තමාන CF&FC කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝකිල සමස්ත රග්බි ප්‍රජාවේම හිත දිනා ගත්තේ නිහතමානී ක්‍රීඩකයෙකු ලෙසයි. 2012 වසරේදී වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වය දැරු ඔහු රග්බි පිටියේ ප්‍රකට මාකෝ නමින් ය. මෙම අනතුර සිදුවනවාත් සමගම එම ස්ථානයට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැමිණ ඇත. එහිදී කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුවේ අංශභාර නිලධාරී එම්. ඒ. බී.සේනාධීර මහතා ප්‍රකාශ කළේ, විදුලි සෝපානයේ යාමට හැකි ප්‍රමාණයට වඩා එහි ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවට දැන ගන්නට ලැබුණු බවයි.
අපට දැන ගන්න ලැබුනු හැටියට ඒක වෙලා තියෙන්නේ සෝපානයක් මේවා වෙනකොට ඒකට නිශ්චිත බරක් තියනවා. නමුත් ඒකට 10 දෙනෙක් දාන්න පුළුවන් 10 ට වඩා 15ක් විතර ඒ ගොල්ල නැගලා තියනවා. ඒ අවස්ථාවේදී ඒකේ බටන් තියනවා. ඒ බටන් එකක් වැරදි විදියට එබෙන්න ඇති කියලා හිතෙනවා. එවෙලෙදී තමයි මේ පුද්ගලයා ඒ අතරට වැටිලා තියෙන්නේ. තරුණයා හිර වෙලා හිටියේ ලිෆ්ට් එකත් ෆ්ලෝ එකත් අතරේ. මැද්දේ තමයි හිටගෙන හිටියේ. එක අතකුත් කකුලකුත් උඩ තියෙන්න අනිත් ශරීරය ඔක්කොම යටට පහත් වෙලා තමයි තිබ්බේ. අවුරුදු 23ක සේවා කාලයක් තියනවා මේ කාලේ ඇතුලත මේ වගේ එකක් දැක්කේ අද තමා. මේක ගන්නේ කොහොමද කියන තත්වෙකට මේවා උනා. ඊට පස්සේ තමා මගේ කෲ එකේ දෙන්නෙක් උඩට ඇරලා ලිෆ්ට් එක් ස්ථාවර කරලා ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා තමා අවශ්‍ය කටයුතු කෙරුවේ.