රගර් ක්‍රීඩකයාට මරු කැඳවූ අනතුරට හේතුව අභිරහසක්?

රගර් ක්‍රීඩකයාට මරු කැඳවූ අනතුරට හේතුව අභිරහසක්?

by Staff writer 30-12-2018 | 7:24 PM
COLOMBO (News 1st) : රගර් ක්‍රීඩකයෙකුට මරු කැඳවූ කොළඹ 02 නවම් මාවතේ රාත්‍රි සමාජ ශාලාවේ විදුලි සෝපාන අනතුර සිදු වී මේ වනවිට පැය 24කටත් අධික කාලයක් ගතවී තිබේ. නමුත්, ඒ සම්බන්ධයෙන් තවමත් ඉතිරිව ඇත්තේ ප්‍රශ්නාර්ථ මිස අනතුරට හේතු නම් නොවෙයි. අනතුර සිදුවූයේ කෙසේ ද? "අපි ඇතුළට ගියා කට්ටියම අපේ 10 ක් විතර හිටියා. ඊට පස්සේ ලිප්ට් එක ඔබලා ඒක එනකම් හිටියා. ලිප්ට් එක ආවට පස්සේ අපි කට්ටියම ඇතුලට ගියා. ඒ කියන්නෙ අපි හිටපු අය ඔක්කොමයි, තව එතනදි තව හතර පස් දෙනෙක් ආවා ඇතුල‍ට. එත‍කොටම ඇවිල්ලා උඩට යන්න හදද්දිම එකපාරට එක ෆ්ලෑස් එකකින්, ලිෆ්ට් එක එකපාරටම පල්ලෙහාට වැටුනා.මම දැක්කෙ මාකෝගේ අතකුයි, ලෙෆ්ට් පුට් එකයි ස්ටාම් එකයි විතරයි මට පෙනුනෙ. තව එක්කෙනෙක් එහා පැත්තෙන් හිටියා එයාගෙත් ඇගේ කෑල්ලයි තිබුණේ.ඇතුලේ කට්ටියම ඔක්කොම කෑගැහුවා කරගන්න දෙයක් තිබ්බෙ නැහැ ඒ වෙලාවේ. ෂර්ට් එක ගලවලා අතේ ඔතාගෙන එහා පැත්තෙ තිබුන වීදුරුව කැඩුවා එතකොට අනිත් පැත්තෙනුත් තව වීදුරුවක් තිබුනා ඒ වීදුරුව කැඩුවා එළියේ හිටපු කට්ටිය. ඒ වීදුරුව කඩලා එතනින් තමයි කට්ටියම එළියට ගත්තේ. ලැඩර් එකක් දාලා අන්තිම කට්ටියව එළියට ගත්තා ලිෆ්ට් එක ඇතුලේ හිරවෙලා හිටපු .ඕවර් ලෝඩ් වුනා කියලා කියන්න කිසිම සාක්සියක්, ඒ කියන්නේ ඒක ඕවර් ලෝඩ් වුනා නම් ලිෆ්ට් එක එක්කො උඩට යන්න ඕනි. එක්කො මොකුත්වෙන්න බෑ.දොර වැහෙන්වෙත් නැහැ ඕවර් ලෝඩ් යන්න බෑ බේසිකලි. සෝ එහෙම දෙයක් වුන්නැහැ. එකපාරට ලිෆ්ට් එක පහලට වැටුනා එක ෆ්ලෑස් එකකින් එක තප්පරයක්වත් ගියේ නැහැ ලිෆ්ට් එක පහළට වැටුනා.ඔව් මම ඒ වෙලාවේ ඇතු‍ලේ හිටියේ පිටිපස්සේ වීදුරුව කඩාගෙන තමයි එළියට ආවේ" ඒ අනතුර සිදුවන අවස්ථාවේ විදුලි සෝපානයේ සිටි අයෙකු අනතුර පිළිබඳ කළ පැහැදිලි කිරීමයි. ඊයේ අලුයම සිදුවු අදාළ අනතුරෙන් 24 හැවිරිදි කෝකිල සමන්දපෙරුමට ජීවිතය අහිමිවූ අතර තවත් තරුණයින් දෙදෙනෙකු ඉන් තුවාල ලැබූහ. රගර් ක්‍රීඩකයෙකු වූ මියගිය කෝකිල, සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකි. නිහතමානී ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට ඔහු රගර් පිටියේ ප්‍රකටව සිටියේ මාකෝ නමිනි. ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ජාතික රෝහලේදී සිදුකෙරුණු අතර එහිදී අනාවරණය වී ඇත්තේ පපු කුහරයට හානීවීමෙන් ඇති වූ ස්වසන අවහිරතා හේතුවෙන් කෝකිලගේ මරණය සිදුව ඇති බවයි. ඇතැම් පාර්ශව ඊයේ සඳහන් කළේ, මෙය ප්‍රමාණය ඉක්මවා විදුලි සෝපානයට පිරිස් ගොඩවීම හා එහිදි වැරදි බොත්තමක් එබීම නිසා මෙම අනතුර සිදුවූ බවයි. කෙසේවෙතත්, ඒ මොහොතේ මිය ගිය කෝකිල සමග විදුලි සෝපානයේ සිටි සෙසු මිතුරෝ එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරති. "ලිෆ්ට් එක පල්ලෙහාට ආවා. 12 දෙනෙක් හිටියා. එලාම් වැදුනාම කට්ටිය ලිෆට් එකක් ඇතිවුනා" මේ අතර මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවුසවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කළ බවයි. විදුලි සෝපානය කඩා වැටීමට හේතු සොයා බැලීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවන් යොදවා තාක්ෂණික වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මෙය පැරණි විදුලි සෝපානයක් බවත්, තාක්ෂණික වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර අදාළ රාත්‍රී සමාජ ශාලාව ලබන 03 වන දා දක්වා වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඔවුන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සිය සංවේගය පළ කරන බවයි. https://www.youtube.com/watch?v=qd9ZlgqdEis