ගත වූ පැය 24 අනතුරුවලින් 15 දෙනෙකුට තුවාල

ගත වූ පැය 24 අනතුරුවලින් 15 දෙනෙකුට තුවාල

by Staff writer 30-12-2018 | 6:43 PM
COLOMBO (News 1st) : ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් කුඩා දැරියක ඇතුළු පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා තිබේ. කෝට්ටාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 11 ක දැරියක මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. මිය ගිය දැරියගේ මව සහ පියා ද අනතුරින් තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසී ය. මේ අතර කටාන කෝන්ගස්හංදිය ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ මීගමුව හරිස්චන්ද්‍ර ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගයෙකි. කටාන සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, කතරගම වන්දනා ගමනක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් අනතුරට මුහුණා පා ඇති බවයි. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කහලකැලේ ප්‍රදේශයේ දී අද උදෑසන සිදු වූ තවත් අනතුරකින් ජපන් ජාතිකයකු ඇතුළු තුන්දෙනකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ සිට පොළොන්නරුව බලා ධාවනය වූ මොටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ලොරි රථ දෙකක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදියක ගැටී ඇති මෙම අනතුර සිදුව ඇති බවයි. පසුව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ඇළකට පෙරළී තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ ජපන් ජාතිකයා ඇතුළු තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කළ බවයි. මේ අතර අද අලුයම දෙකට පමණ අම්පාර මූලස්ථාන පොලීසිය සහ පොලිස් අධිකාරී කාර්යාලයට අතර මැද මාර්ගයේදී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලැබී ය. පොලීසිය පැවසුවේ අම්පාර වාරී මාර්ග ඉංජිනේරුවරයාට අයත් නිල කැබ් රථය ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථවේ වාරිමාර්ග ඉංජිනේරූවරයා එහි සිට නොමැත. තුවාල ලබා ඇත්තේ එම රථ දෙකේ රියැදුරන් වන අතර ඔවුන් අනතුර සිදුවන විට බීමත්ව සිට ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ අතර දක්ෂණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම ආසන්නයේ දී අද උදෑසන 7ට පමණ සිදු වූ තවත් අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් සුළු තුවාල ලැබූහ. පොලීසිය සඳහන් කළේ, කොළඹ සිට මාතර දෙසට ගමන් කරමින් සිට මොටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි වැදී මෙම අනතුර සිදුව ඇති බවයි.