ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 429 ක් පිටුපසින්

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 429 ක් පිටුපසින්

by Staff writer 29-12-2018 | 12:12 PM

COLOMBO (News 1st) - තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද සිව්වන දිනටත් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 660 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 104 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 231 කි. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ජයග්‍රහනය සඳහා ලකුණු 660 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 24 ක් රැස් කරගෙන සිටියේ ය. නායක දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 117 කි. කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් දිවියේ 8 වන අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 67 ක්. මේ අතර කුසල් මෙන්ඩිස් 2018 වසරේ ටෙස්ට් ලකුණු 1000 සීමාව අද පසුකළ අතර 2018 වසරේ ටෙස්ට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියාවීමට ද ඔහු සමත්වීම විශේෂත්වයකි. තව ද අඩුම වයසකින් එක් වසරකදී ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකළ ක්‍රීඩකයා ලෙස ද කුසල් වාර්තා අතරට එක් විය. නායක දිනේෂ් චන්දිමාල් අද සිය ටෙස්ට් දිවියේ 17 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 56 ක් රැස් කළේ ය. ඇන්ජෙලෝ මැතිව්ස් අබාධයක් හේතුවෙන් පිටියයෙන් ඉවත් වූයේ, ලකුණූ 22 ක් රැස් කරගෙන සිටියදීයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 19 ක් රැස් කළ අතර රොෂේන් සිල්වා ලකුණු 18 ක් රැස් කළේ ය. අද දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳි සිටි දිල්රුවන් පෙරේරා ලකුණු 22 ක් රැස් කරගෙන සිටිය අතර සුරංග ලක්මාල් නොදැවී ලකුණු 16 ක් රැස් කරගෙන සිටියේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 660 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තව ත් කඩුලු 4 ක් අතැතිව ලකුණු 429 ක් පිටුපසින් සිටි.