ගුරු හිඟය මගහැරවීමට කඩිනම් වැඩපිළිවෙළක්

විෂයන් කිහිපයකට ගුරු පුරප්පාඩු 35000 ක් - අධ්‍යාපන අමාත්‍යංශය කියයි

by Staff writer 29-12-2018 | 7:36 AM

COLOMBO (News 1st) - විෂයන් කිහිපයක් සඳහා ගුරු පුරප්පාඩු 35000 ක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහි අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා සඳහන් කළේ, විද්‍යා හා ගණිත විෂයන්, ප්‍රාථමික හා තාක්ෂණවේදය විෂය ධාරාවන්ට අදාළ ගුරුවරුන් එලෙස පුරප්පාඩු වී ඇති බවයි. එහෙත් ඉංග්‍රීසි, සෞන්දර්ය ඇතුළු කලා විෂයන් කිහිපයක ගුරුවරුන් 65000 ක අතිරික්තයක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ගුරු අතිරික්තයක් තිබුණ ද ඇතැම් පාසල්වල තවමත් ගුරු පුරප්පාඩු පැවතීම දැඩි ගැටලුවක් වී තිබේ. අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මෙම අතිරික්ත ගුරුවරුන්, ගුරු හිඟය පවතින පාසල්වලට යොමු කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. ඒ අනුව ගුරු හිඟය පවතින පාසල්වල සේවය සඳහා යන ගුරුවරුන්ට විශේෂ දීමනාවක් ගෙවීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු ව තිබේ. මීට අමතරව ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරුන් පාළාත් සභා පාසල්වලට යොමු කිරීම සඳහා ගුරුවරුන් හුවමාරු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට නියමිත වේ. ගුරුවරුන් ස්ථාන මාරු කිරීමේදී අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලට මින් ඉදිරියට ගුරුවරුන් යොමු නොකිරීමට ද තීරණය කර ඇති බව අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.