නගර 2ක් මැද තනි වූ කැළේකුඹුක්වැව ගම්මුන්ගේ අලුත් බලාපොරොත්තුව...

by Staff writer 29-12-2018 | 10:28 PM
COLOMBO (News 1st) - දේශපාලන පොරොන්දුවලින් හෙම්බත්ව, පිපාසයට ජල බිඳක් සොයා වසර ගණනක් එකිනෙකාට යදිමින් සිටි තලාව, කැළේකුඹුක්වැව ජනතාවට අද අලුත් බලාපොරොත්තු ලබා දෙමින් ගම්මැද්ද කැළේකුඹුක්වැවට නෑගම් ගියේ ය. ඒ, සෙන්ට්‍රල් බෙයාරින්ග් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ පිරිසක් ද සමගිනි. අනුරාධපුර, තලාව, කැළේකුඹුක්වැව ගම්මානය කේන්ද්‍ර කර ගත් අවට ගම්මානවල වැසියන් දශක ගණනක් පුරා පානය කළ ජලයේ අවසන් ප්‍රතිඵලය වූයේ කැළේකුඹුක්වැවත් වකුගඩු රෝගීන් බහුල ගම්මාන ලැයිස්තුවට ඇතුළත් වීම පමණි. බලධාරීන් නෑසූ කන්ව බලා සිටියදී සරත් කුමාර විජේසිංහ මහතා ගම්මුන් වෙනුවෙන් ගම්මැද්ද ඇමතුවේ යම් සහනයක් බලාපොරොත්තුවෙනි. නාවික හමුදා නිලධාරියෙකු වූ සරත් කුමාර මහතා එතැනින් නොනැවතී ජල ව්‍යාපෘතිය සඳහා සිය පෞද්ගලික ඉඩමක් ද පරිත්‍යාග කරන්නට තරම් පරිත්‍යාගශීලි විය. ඒ අනූව ක්‍රියාත්මක වූ ගම්මැද්ද වැඩ දහසක් ක්‍රියාන්විතය අද කැළේකුඹුක්වැවට ජල පිරිපහදු යන්ත්‍රයක් ද සහිත පානීය ජල ව්‍යාපෘතියක් ලබා දීමට මුල පිරුවේ ය. ඒ, සෙන්ට්‍රල් බෙයාරින්ග් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ මූල්‍ය පරිත්‍යාගය ද සමගිනි. ගම්මුන්ගේ ජීවිතවලට අලුත් බලාපොරොත්තු ගෙනෙන ඒ සුබ මොහොතේ සතුට සමරන්නට එම සමාගමේ යොහාන් තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් හා කැපිටල් මහරාජා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ගම්මැද්ද නියෝජිතයෝ ද එක්වූහ.