හරීන්ට හා මලික්ට ලබා දුන් අමාත්‍යාංශ දෙකක් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කපා හැරේ

by Staff writer 28-12-2018 | 5:23 PM

COLOMBO (News 1st) - හරීන් ප්‍රනාන්දු හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ට ලබාදුන් අමාත්‍යාංශ දෙකක් ඉවත් කර තිබේ.

මේ බව අනාවරණය වන්නේ, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදන මගිනි. පසුගිය 20 වැනි දා විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේ ය. මලික් සමරවික්‍රම මහතා එදින දිවුරුම් දුන්නේ, සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසයි. නමුත් දෙසැම්බර් මස 26 වැනි දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ, ඔවුන් දෙදෙනා දෙසැම්බර් 21 වන දා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ බවයි. 26 වන දා නිකුත් කළ තව ත් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව අමාත්‍යාංශ දෙකක් ඉවත් කර ඔවුන් දෙදෙනාට අදාළ අමාත්‍ය තනතුරු නැවත ප්‍රකාශයට පත්කර ඇත. මේ අනුව හරීන් ප්‍රනාන්දු මහතාට අයත්ව තිබූ ඩිජිටල් යටිතල පහසුකම් විෂය ඔහුගෙන් ඉවත්කර ඇති අතර මලික් සමරවික්‍රම මහතාගෙන් ඉවත් කර ඇත්තේ, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ විෂයයි. මෙසේ ඉවත් කළ විෂයන්වල කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස අජිත්. පී. පෙරේරා සහ සූජීව සේනසිංහ යන මහත්වරුන් පත් කළ බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද දෙසැම්බර් 26 වන දා නිකුත් කර තිබේ.