කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්

by Staff writer 28-12-2018 | 7:49 AM
COLOMBO (News 1st) - තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයේ හඳුනා ගත් ස්ථාන ආශ්‍රිතව මාර්ග බාධක ද යොදවා ඇති බව ය. පුද්ගලයින් 4 දෙනෙකුට මරු කැඳවමින් කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමෙන් පසු එම පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සිද්ධියෙන් තවත් 8 දෙනෙක් තුවාල ලැබූහ. මේ අතර පසුගියදා සිදු වූ වෙඩි තැබීමට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය. ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 11කි. එම සිදුවීම පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සහ දුරකතන කුළුණු දත්ත මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක ය. තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මාර්ගය සහ ඔවුන් යළි පළා ගිය මාර්ග පිළිබඳව අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මේ වන විට අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් පැමිණි යතුරු පැදියේ අංක තහඩු නොමැති බව ය. පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මිය ගිය පුද්ගලයින්ගේ දුරකතන සංවාද සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ය. මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි තුවක්කු කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති අතර ටී 56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලීසිය ප්‍රකාශ කළේ, ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇති බව ය.