ඩොලරය තව ත් ඉහළට...

ඩොලරය තව ත් ඉහළට: ආර්ථික වර්ධන වේගයත් අපේක්ෂිත ඉලක්කවලට වඩා අඩුවෙන්

by Staff writer 28-12-2018 | 6:46 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙමින් තිබේ.

අද අ‍මෙරිකානු ඩොලරයක අගය රුපියල් 184.00 ඉක්මවා ගියේ ය. අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සඳහන් වූයේ, රුපියල් 184.07 ක් ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මේ වසරේ දෙසැම්බර් 27 වැනි දා වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 15.9% කින් අවප්‍රමාණය විය. ආර්ථිකයේ විදේශීය අංශය, ගෝලීය සහ දේශීය අභියෝගවලට අඛණ්ඩව මුහුණ දෙමින් සිටින බව පවසන මහ බැංකුව පෙන්වා දෙන්නේ වසරේ මුල් මාස 10 තුළ අපනයන ආදායම්වලට වඩා ආනයන වියදම් වැඩිවී ඇති බවයි. විදේශ සේවා නියුක්තිකයින් එවන මුදල් ප්‍රමාණය ද මන්දගාමීවී ඇති අතර රජයේ සුරැකුම්පත් හා කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන විශාල ලෙස රටින් ඉවත්ව යෑම ද රුපියල අවප්‍රමාණයවීමට බලපා තිබේ. පසුගිය ජූලි මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 8.4 ක්ව පැවති ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ප්‍රමාණය ද මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා අඩුවී ඇත. 2018 වසරේ දෙවන කාර්තුවේ 3.6 % ක් වූ ආර්ථික වර්ධන වේගය තුන්වන කාර්තුවේදී 2.9% ක් දක්වා පහළ ගොස් ඇති බව ද මුදල් ප්‍රතිපත්ති විවරණයේ සඳහන් වේ. සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යනු ඇති බව මහ බැංකුවේ අදහසයි. ප්‍රමාදයකින් තොරව පුළුල් ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අවශ්‍යතාව මහ බැංකුව සිය ප්‍රතිපත්ති විවරණයේ අවධාරණය කර තිබේ. කෙසේවෙතත් මහ බැංකුව පවසන්නේ, සිය ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.