උතුරේ ආපදා තත්ත්වය ගැන සෙවීමට අගමැති කිලිනොච්චියට

උතුරේ ආපදා තත්ත්වය පිළිබඳ සෙවීමට අගමැති කිලිනොච්චියට

by Staff writer 28-12-2018 | 10:06 PM

COLOMBO (News 1st) - උතුරු පළාතේ ඇතිවුණ ආපදා තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විය.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බලා ගිය අග්‍රමාත්‍යවරයාට මිනිත්තු කිහිපයක් මාර්ගයේ රැඳී සිටීමට සිදු විණි. ඒ, දුම්රියක් පැමිණිමත් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ගය වසා දැමීම හේතුවෙන් ය. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක් ව සිටියහ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රමාත්‍යරවයා සමග සාකච්ඡාවක නිරත විය. අනතුරුව කිලිනොච්චි ප්‍රථමික මහ විද්‍යාලයට ගිය අග්‍රමාත්‍යවරයා එහි අවතැන්ව සිටින ජනතාව හමුවී සහනාධාර ලබා දුන්නේ ය. එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් එක් ව සිටියේ නැත.