මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් කනස්සල්ලෙන්...

අමාත්‍ය ධූරයක් නොලැබීම නිසා මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් කනස්සල්ලෙන්

by Staff writer 28-12-2018 | 6:34 PM

COLOMBO (News 1st) - කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධක්‍රිෂ්ණන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය තනතුරක් නොලැබීම පිළිබඳව කනස්සල්ල පළකර තිබේ.

රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා පැවසූවේ, අර්බුදය පැවති සමයේ තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකළ බවයි. කැබිනට් ඇමති ධූරයක් හා නියෝජ්‍ය ඇමති ධූරයක් කඳුරට ජනතා පෙරමුණට ලබාදෙන බව වික්‍රමසිංහ මහතා එහිදී පොරොන්දු වූ බව ද ඔහු පවසුවේ ය. රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේ, ඒ අනුව අධ්‍යාපන රාජ්‍ය, හින්දු කටයුතු කැබිනට් නොවන සහ තව ත් නියෝජ්‍ය ඇමති ධූරයක් තම පක්ෂයට ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බවයි. තම පක්ෂයට දුන් පොරොන්දුව ඉටු නොවුන ද දෙමළ ප්‍රගතිශීලි සන්ධානයට කැබිනට් ඇමති ධූර දෙකක් ලබාදී ඇතැයි මන්ත්‍රීවරයා පවසයි. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ද දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරන අතර ඔහු සමග මනෝ ගනේෂන් සහ පී.දිගම්බරම් යන මන්ත්‍රීවරුන් මේ සන්ධානයට ඇතුළත් වේ. වී.රාධක්‍රිෂ්ණන් මහතා සිය නිවේදනයේ පෙන්වා දෙන්නේ, ජනතාවට සේවය කළ හැකි අමාත්‍යාංශයක් හැර වෙනත් තනතුරක් භාර නොගන්නා බවයි. කෙසේවෙතත් විපක්ෂයට නොයන බව ද රාධක්‍රිෂ්ණන් මහතා අවධාරණය කර සිටි.