මත්ද්‍රව්‍ය වැටලීම් ශක්තිමත් කරන්නැයි, උපදෙස්

මත්ද්‍රව්‍ය වැටලීම් ශක්තිමත් කරන්නැයි, ජනපතිගෙන් උපදෙස්

by Staff writer 27-12-2018 | 8:55 PM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සඳහා නීතිය කාර්යක්ෂමව සහ දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලතල අදාළ ආයතන සහ නිලධාරීන්ට පවරාදීමට නීති කෙටුම්පත් සම්පාදනය මේ වනවිට කඩිනමින් සිදුවෙමින් පවතින බවයි. පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අංශය යටතට පවරා ගැනීමෙන් පසු, ගත වූ මාස දෙකකට ආසන්න කාලය තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ශක්තිමක් කර තිබෙන අතර එහි සුවිශේෂී ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ගත වූ මාස දෙකකට ආසන්න කාලය තුළ හෙරොයින් කිලෝග්‍රැම් 280 ක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 15, 530කි. ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි 2018 ජනවාරි 1 වනදා සිට ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ සොයාගෙන ඇත්තේ හෙරොයින් කිලෝග්‍රෑම් 184 ක පමණ ප්‍රමාණයකි. මත්ද්‍රව්‍ය උවදුරෙන් මතු පරපුර නිදහස් කර ගැනීම උදෙසා මත්ද්‍රව්‍ය නිවාණය සහ මර්දනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් මේ වනවිට පුළුල් වැඩ සටහන් රැසක් දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.