කුඩාවැල්ලේ වෙඩි තැබීම පිළිබඳ පොලීසියට තොරතුරක්

කුඩාවැල්ලේ වෙඩි තැබීම පිළිබඳ පොලීසියට තොරතුරක්

by Staff writer 27-12-2018 | 7:20 AM

COLOMBO (News 1st) - තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මාර්ගය සහ ඔවුන් යළි පළාගිය මාර්ග පිළිබඳ අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් CCTV කැමරා දර්ශන ඔස්සේ කළ විමර්ශනවලදී ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවයි. සැකකරුවන් පැමිණි යතුරුපැදියේ අංක තහඩු නොමැති බවට ද අනාවරණ වී තිබේ. මේ අතර මෙම වෙඩි තැබීම සඳහා තව ත් වාහනයක් උපයෝගී කරගෙන ඇතැයි ද පොලිසිය සැකපළ කරනු ඇත. පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ දුරකතන සංවාද සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව දුරකතන සමාගම් 4 ක් මගින් එම දත්ත ලබා ගැනීමට නියමිත අතර දුරකතන කුළුණු වාර්තා මගින් ද ඉදිරි විමර්ශන සිදු කරන බව එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පෙරේදා පෙරවරුවේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 8 කි. මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි තුවක්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති අතර ටී 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලීසිය ප්‍රකාශ කළේ, ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවයි. මේ අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබුවන් 7 දෙනෙකු තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එක් අයෙකුට ශල්‍යකර්මයක් සිදු කළ අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. තව ත් 6 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු සඳහන් කළේ ය.