by Sagarika Chathumali 27-12-2018 | 4:44 PM
COLOMBO (News 1st) : ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද යළි විදාරණය වීමේ අවදානමක් ඇති බවට එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගිනිකන්දේ ක්‍රියාකාරීත්වය ඉහළ යමින් පවතින බව ත් ඒ හේතුවෙන් ගිනිකන්ද යළි විදාරණය වීමේ අවදානම් මට්ටම තෙවන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉහළ ගොස් ඇති බව ද ඉන්දුනීසියා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසී ය.
පසුගිය දා ගිනිකන්ද විදාරණය වීමත් පසු හටගත් සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිය ගණනකට ජීවිත අහිමි වූහ.
මේ අතර අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද ආසන්නයෙන් පියසර කරන සියලු ගුවන් යානා වෙනත් ගුවන් මාර්ග කරා යොමුකිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගනු ලැබී ය.
ඒ , ජාවා සහ සුමාත්‍රා දූපත් අතර පිහිටි අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද ඉහළ අහසට අළු විදිමින් විදාරණය වෙමින් පැවතීම හේතුවෙනි.
ගිනිකන්දෙන් විසිවන අළු , ගුවන් යානා පියාසර කරවීමට බාධා කරන හෙයින් මෙම පියවර ගත් බව ද ඉන්දුනීසියා බලධාරීහු පැවසූහ.
පසුගිය සෙනසුරාදා ගිනිකඳු විදාරණයෙන් පසු හටගත් සුනාමියෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 450 කට ආසන්නයි.