ඔලිම්පික් ක්‍රීඩකයන් පස් දෙනෙකුට තහනමක්

තහනම් උත්තේජක ගත් ඔලිම්පික් ක්‍රීඩකයන් පස් දෙනෙකුට තහනමක්

by Staff writer 25-12-2018 | 1:19 PM
ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට අන්තර්ජාතික බර ඉසීලීමේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ ඔවුන් තහනම් උත්තේජක භාවිතා කළ බවට බී සාම්පල පරීක්ෂනයෙන්ද සනාථ වීම හේතුවෙන්. 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ දී මෙම ක්‍රීඩකයන්  තහනම් උත්තේජක භාවිතා කර ඇති බව අන්තර්ජාතික බර ඉසිලිමේ සම්මේලනය නිවේදනය කරයි. එම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රැම් 105 බර පන්තිය යටතේ තරග වැදි රන් පදක්කම දිනා ගත් යුක්රේනයේ ඔලෙක්සිට (Oleksiy Torokhtiy) හා කිලෝග්‍රැම් 56 බර පන්තිය ලෝකඩ පදක්කම දිනා ගත් අසර්බයිජානයේ වැලන්ටින් හිස්ට්‍රොව්ටත් (Valentin Hristov) මේ අනුව සිය පදක්කම අහිමි වේ. එසේම එම ක්‍රීඩා උළෙලේ දීම කිලෝග්‍රැම් 105 බර පන්තියෙන් සිව්වැනි ස්ථානය හිමිකරගත්, උස්බකිස්තානයේ රුස්ලාන් නුරුදිනොව් ( Ruslan Nurudinov) ද මෙලෙස තහනමට ලක්වූවන් අතර සිටියි. ඔහු 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී කිලෝග්‍රෑම් 105 බර පංතියෙන් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා ද වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වර්ථමානයේදී බර ඉසිලිමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තහනම් උත්තේජක භාවිතය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම මත ඔලිම්පික් උළෙලන් බර ඉසිලීමේ ක්‍රීඩාව ඉවත් කිරීමේ අවධානමක් මතුව ඇති බවයි. 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් බර ඉසිලිමේ ඉසව්ව ඉවත් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අවධානය යොමුකර ඇති බව ද වාර්තා වේ. තහනම් උත්තේජක භාවිතය අවම කිරීමට අවධානය යොමු නොකළ හොත් මෙලෙස එම ඉසව්ව ඉවත් කරනු ඇති බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.