ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

by Staff writer 25-12-2018 | 10:40 AM
COLOMBO (News 1st) - අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට මාතර තිහගොඩ ප්‍රදේශයේදී පොලීසිය වෙඩි තබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ලද තොරතුරක් මත අද අලුයම මාර්ග බාධක යොදා අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව ය. එම අවස්ථාවේ අණ නොතකා ධාවනය වූ ලොරි රථයේ ඉන්ධන ටැංකිය දෙසට වෙඩි තබා තිබේ. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉන්ධන අවසන් වීමෙන් නතර වූ ලොරි රථය හක්මන මාර්ගයේ කපුදූව ප්‍රදේශයේ දමා සැකකරුවන් පළා ගොස් ඇති බව ය. සැකකරුවන් විසින් අනවසරයෙන් ප්‍රවාහනය කළ ගවයින් 14 දෙනෙකු සහ ලොරි රථය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, පළා ගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක ය.