ජනපති, අගමැති හා විපක්ෂ නායක නත්තලට සුබ පැතුම් එක් කරයි

ජනපති, අගමැති හා විපක්ෂ නායක නත්තලට සුබ පැතුම් එක් කරයි

ජනපති, අගමැති හා විපක්ෂ නායක නත්තලට සුබ පැතුම් එක් කරයි

කර්තෘ Staff writer

25 Dec, 2018 | 7:29 am

COLOMBO (News 1st) – නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබේ.

සිය සුබ පැතුම් පණිවුඩයෙන් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ, විනාශය කරා යෑමේ පුළුල් දොරටුවලින් ඇතුළු වීමට පොරකන්නන් හට, නත්තල නව ජීවනයට යෑමේ පටු දොරටුව දෙස යළි හැරී බැලීමට අනුබල සපයන බව ය.

ලොවට හිත වැඩ පිණිස වූ මෙත් කරුණා ගුණෝප්ත මිනිසත් බව වෙනුවෙන් වූ උන්වහන්සේගේ දහමින් පැවසෙන සදූපදේශයන් මේ නත්තලේ මෙරට නගර ගම් දනව්වල ගෙයින් ගෙය පුරා රැව් දේවා යන්න සිය ප්‍රාර්ථනය බව ද ජනාධිපතිතුමා සිය නත්තල් දින පණිවුඩයෙන් දන්වා තිබේ.‍

කුල මල භාෂා වෙනසකින් තොරව, සියලු ශ්‍රී ලාංකිකයින්ට භේද නොවී සහෝදරත්වයේ හා මිත්‍රත්වයේ හැඟීමෙන් ක්‍රියා කිරීමට සුදුසුම අවදිය මෙය බව නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ, යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයක් ලෙස නත්තල හැඳින්විය හැකි බව ය.

ජේසු බිළිඳානන් අප වෙත ගෙන එන ප්‍රීතිය හා සාමය සියලු දෙනා හට හිමි වේවායි සිය ප්‍රාර්ථනය බව ද අගමැතිතුමා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් ය.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් දින සුබ පැතුම් එක් කර තිබේ.

ඔහු සිය නත්තල් පණිවුඩයෙන් දන්වා ඇත්තේ, ජේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් මෙනෙහි කිරීමට නත්තලට වඩා හොඳ කාලයක් තවත් නොමැති බවත්, සත්‍යයේ පිහිටා වැඩ කිරීමේ වැදගත්කම සහ කුහකකමින් හා දෙබිඩි මනසකින් තොරව, ප්‍රේමයෙහි සැබෑ බලය මාර්ගෝපදේශය කර ගනිමින් වැඩ කිරීමේ වැදගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]