කෝලිට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්

by Staff writer 24-12-2018 | 6:46 PM
ලොව සුපිරි පිතිකරු විරාත් කෝලි.... සත් හැවිරිදි ආර්චි ශිලර්ට ටෙස්ට් පිටියේදී ඔහු දවාලිය හැකි වේවි ද ? ඉන්දු - ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය බොක්සිං දිනය හෙවත් ලබන 26 වන දා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් පිටියේදී ආරම්භවීමට නියමිතයි. මෙම තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයට සත් හැවිරිදි දරුවෙකු ද ඇතුලත්ව සිටීම විශේෂත්වයකි. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සමනායකත්වය ද හොබවනු ඇති. මේ පුංචි ක්‍රීඩකයා සුපිරි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වන්නේ ඔහුගේ ක්‍රිකට්වලට දැඩි ඇල්ම මත කළ ඉල්ලීම මතයි. කුඩා කල සිට හදවත් රෝගයකින් පෙලෙන ආර්චි ශිලර් ජනවාරි මාසයේදී තෙවන වරටත් බරපතළ සැත්කමකට මුහුණදීමට නියමිත වේ. ආර්චි ශිලර් ලබන 26 වන දා තම සිහිනය සැබෑවක් කර ගැනීම සඳහා විරාත් කෝලිගේ කඩුල්ල දවාගැනීම සඳහා දකුණතින් පන්දුව මෙහෙයවනු ඇති. ජීවිතයත් සමග සටනක යෙදෙන කුඩා ආර්චිට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් හා එක් වන්නට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් මෙන් ම ක්‍රීඩකයින් අවස්ථාව ලබාදී ඇත්තේ ජය පැරදුමට වඩා ක්‍රීඩාවේ මහත්මා ගුණය ලොවට විදහා දක්වමින් ය.