44 000ක් පීඩාවට පත් කළ උතුරේ ගංවතුර

44 000ක් පීඩාවට පත් කළ උතුරේ ගංවතුර

by Staff writer 23-12-2018 | 7:07 PM
COLOMBO (News 1st) : ධාරාණිපාත වර්ෂාවත් සමග උතුරු පළාතට බලපා ඇති ගංවතුරින් තවදුරටත් පුද්ගලයින් 8500ක් ආරක්ෂිත ස්ථාන 52ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල පුද්ගලයින් 44,000 පීඩාවට පත්වූ බවයි. ඊයේ රාත්‍රී සිට වැසි තත්ත්ව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පෙරේදා සිට ඊයේ රාත්‍රිය දක්වා ඇදහැළුණු වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම් හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19841 දෙනෙකු තවදුරටත් කඳවුරු 28ක රඳවා තිබේ. අද දවස පුරා සැළකිය යුතු වර්ෂාවක් ඇද නොහැලුණ ද, කිලිනොච්චි පන්නන්කන්ඩි, මුරසුමෝටෙයි, අයියන් කෝවි කණ්ඩාවලෛයි සහ පරන්තන් ඇතුළු ප්‍රදේශ කිහිපයක තවමත් ජල ගැලීම් තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවෝ සඳහන් කරති. ඇදහැළුණු තද වැසි හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 6254කට අයත් පුද්ගලයින් 19,858 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඉන් 4253 දෙනෙකු කඳවුරු 28ක තවදුරටත් රඳවා ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. මේ අතර ඇදහැළුණු වැස සමග ඉරණමඩු, රාජාංගනය අංගමුව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති අතර පහත් බිම්වල ජනතාව අවධානයේ පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඉල්ලීමක් කරයි. මහනුවර නගරයේ සිට මහවැලි ගඟට ගලා බසින මැද ඇළ පිටාර ගැලීම නිසා ඊයේ රාත්‍රියේ සුදුහුම්පළ ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවිය. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි උතුරු පළාතේ ගංවතුරෙන් අවතැන්වූවන් සඳහා පහසුකම් සපයාදීම ආරම්භ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගංවතුර තර්ජනය පහව යන තෙක් එම ප්‍රදේශවල සියලු වැසියන් වෙත අවශ්‍ය පහසුකම් නොපමාව සලසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය එක්ව මෙම සහන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන බව එම නිවේදනයේ සඳහන් ය.