ඉන්දුනීසියාවට සුනාමියක්, පුද්ගලයින් 222ක් මරුට

ඉන්දුනීසියාවට සුනාමියක්:මියගිය ගණන 222ක් දක්වා ඉහළට

by Staff writer 23-12-2018 | 6:52 AM
COLOMBO (News 1st): දෙසැම්බර් 26 කියද්දී අපිට මතක් වෙන්නේ ශ්‍රී ලංකාවේ ද ජිවිත රැසක් බිලිගත් 2004 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්වල ඇති වූ සුනාමි කම්පනය... වසර 14කට පසු අද දෙසැම්බර් මාසේ 23 වැනි දා... යළිත් ඉන්දුනීසියාවෙන් සූනාමි ව්‍යවසනයක් ඊයේ රාත්‍රීයේ වාර්තා වූයේ ජීවිත 222ක් බිලි ගනිමිනි. ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ බලධාරිහු සඳහන් කළහ. ඉන්දුනිසියානු වේලාවෙන් ඊයේ රාත්‍රි 9.30ට පමණ ඉන්දුනීසියාව යළිත් මෙලෙස සුනාමි ව්‍යසනයකට මුහුණ පෑවේ ය. එරට වාර්තාවල දැක්වෙන්නේ අදාළ සුනාමි තත්ත්වයට පෙර සුනාමි රළ පිළිබඳ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වී නොමැති බවයි. ඒ, හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට වාර්තාවල සඳහන් ය. ඊයේ රාත්‍රී ඉන්දුනීසියාවේ ජාවා මුහුදු තීරයේ සුපිරි ඉන්දුනීසියානු පොප් ගායක කණ්ඩායමක් සංදර්ශනයක් ඉදිරිපත් කරමින් නත්තල් අසිරියේ සතුට සමරමින් සිටි ඔවුන්ගේ සතුට ද සුනාමිය බිලි විය. එහි සිටි කුඩා දරුවන් ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක් ද මිය ගිය ලැයිස්තුවට ඇතුළත් වෙද්දී, ගායක කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු ද ඊට ඇතුළත් වූහ. අතුරුදන්වූවන් අතරට ගායක කණ්ඩායමේ තවත් තිදෙනෙක් ඇතුළත් වෙති. එම ගායක කණ්ඩායමේ සමාජිකයෙකු ඉන්ස්ටග්‍රෑම් සමාජ වෙබ් අඩවිය වෙත හැඬූ කඳුලින් ප්‍රකාශ කළේ, අතුරුදන් වූවන් අතර සිය බිරිඳ ද සිටින බවයි. විනාශ වූ සුන්බුන්වලින් මාර්ග අවහිර වීම හේතුවෙන් සහන කණ්ඩායම්වලට අදාළ ප්‍රදේශවලට ළඟා වීම දුෂ්කර වී ඇති අතර, මියගිය හා අතුරුදන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකියි. අනාක් ක්‍රැකටෝ ගිනිකන් ද විධාරණය වීමත් සමග මුහුදු පත්ලේ ඇති වු ප්‍රබල කම්පනයන් මෙලෙස සුනාමියක් ඇතිවීමට හේතූ වන්නට ඇතැයි, ඉන්දුනිසියානු කාලගුණ බලධාරිහු පෙන්වා දෙති. ජාවා සහ සුමාත්‍රා දූපත් අතර පිහිටි ක්‍රැකටෝ ගිනිකන් ද  ඉකුත් සිකුරාදා විධාරණය වීමෙන් මීටර් 400 ක් ඉහළ අහසට දූවිලි විද ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. 1883 වසරේදී ක්‍රැකටෝ ගිනිකන්ද විධාරණය වීමෙන් හටගත් සුනාමියෙන් 36000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. __________________________________________________________________ Update (5.53 PM) : ගිනිකඳු විදාරණය වීමක් සමග ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් ආශ්‍රිත සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇතිවූ සුනාමියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 222 ක දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්වී ඇති අතර පුද්ගලයින් 843 දෙනෙකුට තුවාල සිදුව තිබේ. --------------------------------------------------------------------------------------------------------------------------

Update (1.00 P.M) - ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් ආශ්‍රිත සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වූ සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 168 දක්වා ඉහළට තව ත් 745 දෙනෙකුට තුවාල

  ----------------------------------------------------------------------------------------------------------------------------------------- Update (8.00 A.M ) - ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර තීරය ආශ්‍රිතව හටගත් සුනාමියෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළ ගොස් තිබේ. -----------------------------------------------------------------------------------------------------------------------------------------

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගත් සුනාමි තත්ත්වයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මෙම සුනාමියෙන් තව ත් පුද්ගලයන් 165 දෙනෙකු තුවාල ලැබූහ. සුනාමි තත්ත්වයෙන් ඉන්දුනීසියාවේ ගොඩනැගිලි රැසකට හානි සිදු විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ ක්‍රකටෝවා ගිනි කන්ද පිපිරීමෙන් පසුව මුහුදු පතුලේ හටගත් නායයාම් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය හටගෙන ඇති බවට සැකපළවන බවයි. සුනාමි රළ හටගැනීමට හේතුව එම ගිනි කඳු පිපිරීම දැයි සොයා පරීක්ෂණ පැවැත්වෙන බව ද ඉන්දුනීසියා බලධාරීන් සඳහන් කළහ. ජාවා මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කෙරෙන ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය පිහිටා තිබේ. ඉන්දුනීසියා භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ, ඉකුත් සිකුරාදා විනාඩි දෙකකුත් තත්පර 12 ක කාලයකට ක්‍රකටෝවා ගිනිකන්ද විධාරණය වූ බවයි. ඉන් එම ගිනිකන්දෙන් මීටර් 400 ක් ඉහළ අහසට අළු විසි වී ඇත. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සුලාවේසි දූපත ආශ්‍රිතව හටගත් භූ චලනයක් හමුවේ හටගත් සුනාමියකින් පුද්ගලයන් 2000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විණි.