මහ වැසි හේතුවෙන් උතුරු පළාතේ 5000ක් අවතැන්: 9000කට පීඩා

by Staff writer 22-12-2018 | 8:52 PM
COLOMBO (News 1st) - පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් 5775 දෙනෙකු අවතැන් වී ඇති බව ය. පීඩාවට පත් සංඛ්‍යාව 9000කට අධික ය. පවතින වර්ෂාවත් සමග මාර්ග කිහිපයක ගමනා ගමන කටයුතු ද ඇණහිට තිබේ. මේ අතර පවතින ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මුලතිව් හා ඉරණමඩු ඇතුළු ප්‍රදේශ සඳහා නාවික හමුදා කණ්ඩායම් යොදවා තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ, නාවික සෙබළුන් 100කට ආසන්න පිරිසක් කණ්ඩායම් 9 ක් ලෙස යොදවා ඇති බව ය. නාවික හමුදා කණ්ඩායම් සඳහා ඩිංගි යාත්‍රා 9ක් ද එම ප්‍රදේශවලට ලබා දී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව ය.