ඉන්ධන මිල පහළ ගිය ද, පීඩා විඳි පාරිභෝගිකයින්...

තෙල් මිල පහළ ගිය ද, පීඩා විඳි ඛණිජ තෙල් පාරිභෝගිකයින්...

by Staff writer 22-12-2018 | 10:20 PM
COLOMBO (News 1st) - පසුගිය මාස කිහිපය තුළ රටේ වැඩියෙන්ම කතා බහ වුණ මාතෘකා අතර ඉන්ධන මිලත් එක් මාතෘකාවක්... යළි ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරමින් ඉන්ධන මිල ඊයේ යළි පහත දැමිණි. එහි ප්‍රතිලාභ මහජනතාවට ලැබෙන්නේ කෙසේ ද? පසුගිය ඔක්තෝබර් මස 26 වන දා සිට මේ දක්වා ඉන්ධන මිල පහත දැමුණු අවස්ථා ගණන 04කි. යළිත් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීන්දුවත් සමග ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ ප්‍රෙටල් ලීටරයක් රුපියල් 10කින් අඩු වූ අතර නව මිල පිළිවෙලින් රුපියල් 125ක් හා 149ක් වේ. මිල සූත්‍රයට අනුව රුපියල් 106ක්ව පැවති ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා පහළ දමා තිබේ. රුපියල් 131ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ ගිය අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 121කි. කෙසේ වෙතත් අද පස්වරුව වන විටත් ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් අලෙවිය සිදු නොවූ බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. මේ අතර ගෙවුණු මාස එකහමාරක කාලය තුළ අවස්ථා 4කදී ඉන්ධන මිල අඩු වුවත් මහජනතාවට සෘජුවම බලපාන බස් ගාස්තුව නම් මෙතෙක් අඩුවී නොමැත. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම්වලින් ද අපි විමසීමක් කළෙමු. මෙහිදී ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ලබන සතියේ මුල් දින කිහිපය තුළ බස් ගාස්තුව 5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ය. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී සිල්වා මහතා පැවසුවේ, ජනවාරි මාසයේ සිය පාසල් වෑන් රථ ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, රථ වාහන අමතර කොටස් අඩු කිරීමට පියවර ගන්නේ නම් වැඩි මුදලකින් ප්‍රවාහන ගාස්තු අඩු කළ හැකි බව ය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය පැවසුවේ, හෙට දින විධායක සභාව රැස්වීමෙන් පසු ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීම පිළිබඳව තීරණය කරන බව ය. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ආපන ශාලා මිල ගණන් ද ඉහළ දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය පසුගිය අවස්ථාවලදී කටයුතු කළේ ය. නව මිල සංශෝධනය පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිචාරය ද අප විමසූ අතර එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ, ගෑස් මිල අඩු කළ හොත් පමණක් ආහාරවල මිල ගණන් අඩු කරන බව ය.