සිරස නත්තල් කලාපය ඇරඹේ

by Staff writer 21-12-2018 | 9:41 PM
COLOMBO (News 1st) - සාමයේ පණිවුඩය සමග උදාවන අසිරිමත් නත්තල අර්ථ ගන්වමින් රටම සරසන සිරස නත්තල් කලාපය අද පස්වරුවේ ආරම්භ විය. සිව් වන වරටත් අභිමානවත්ව සංවිධාන කරන සිරස නත්තල් කලාපය ඉරිදා දක්වා පැවැත්වේ. කොළඹ 02 බේබෘෘක් පෙදෙස, සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ මෙම නත්තල් කලාපය අද ආරම්භ වුණේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජේසු බිලිදා ගවලෙනෙහි තැන්පත් කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. සිරස නත්තල් කලාපයේ රෝමයේ වතිකානයේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් ආශිර්වාද ගැන්වූ දේව මාතා ප්‍රතිමාව දැක බලා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවේ. නත්තල් කැරොල් ප්‍රසංග සහ ගීතිකා සංදර්ශන ද ආරම්භ වූයේ රාත්‍රී 7ට ය. සිරස නත්තල් කලාපයේ දරුවන් වෙනුවෙන් වෙන් වූ සුවිශේෂී ස්ථානයක් වන්නේ හිම කුටියටයි. දරුවන්ගේ දැනුම හා විනෝදය වෙනුවෙන් එහිදී විවිධ ක්‍රියාකාරකම් රැසක් තිබේ. මීට අමතරව විදුලි අලෝක පද්ධතියකින් සහ සුවිසල් නත්තල් ගසකින් සිරස නත්තල් කලාපය විචිත්‍රවත් වේ. අදින් ඇරඹෙන නත්තල් කලාපය ලබන 23 වන දා දක්වා සිරස මූලස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.