බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට තීරණයක්

බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණයක්

by Staff writer 21-12-2018 | 7:14 PM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ. එහිදී තීරණය වී ඇත්තේ, මේ සම්බන්ධයෙන් නියමිත කාල රාමුවක් තුළ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ය. එමෙන් ම වෝහාරික විගණනය ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී සෑම මසකම ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වෙනු ඇති. ජනාධිපතිතුමා සමග අද පැවති රැස්වීමේදී අනාවරණය වී ඇත්තේ, මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩුවට අදාළ පනත් සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ ආංශික කමිටුව බාධා පමුණුවා ඇති බව ය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජයට දන්වා ඇති නමුත්, සිංගප්පූරු රජය මේ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැති බව ද අද සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.