අමාත්‍යංශ 30ක් සඳහා නව ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ 30ක් සඳහා නව ලේකම්වරු පත් කෙරේ

by Staff writer 21-12-2018 | 8:25 PM
COLOMBO (News 1st) - අමාත්‍යංශ 30ක් සඳහා නව ලේකම්වරු පත් කර තිබේ. පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ, එහි හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතායි. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන හා උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන, යෞවන කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස වී. සිවඥානසෝති මහතා පත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ, පත්මසිරි ජයමාන්න මහතා ය. එස්.එම්. මොහොමඩ් මහත්මිය තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසත් ආර්.එම්. ඩී.බී. මීගස්මුල්ල මහතා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් ජනාධිපතිතුමා අතින් පත් වීම් ලබා ගත්තේ ය. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජේ.ජේ. රත්නසිරි මහතා පත් කර ඇති අතර, විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ, ආචාර්ය සුරේන් බටගොඩ මහතා ය. එල්.පී. ජයම්පති මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන අතර මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රූපසිංහ මහතා පත් කර තිබේ. කමල් පද්මසිරි මහතා පත් කර ඇත්තේ, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රවීනාත ආරියසිංහ මහතා පත් කර ඇති අතර නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ, කේ.පී. බර්නාඩ් වසන්ත සිල්වා මහතා ය. ජේ.ඒ. රංජිත් මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසත්, ඒ.පී.ජී. කිත්සිරි මහතා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසත් පත් කර තිබේ. කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස එල්.ඩී. සේනානායක මහත්මිය පත් කර තිබේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ අනුර දිසානායක මහතායි. කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පී. සුරේෂ් මහතා පත් කර ඇති අතර ගාමිණි සෙනෙවිරත්න මහතා පත් කර ඇත්තේ කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ය. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීන අවතැන් වූ පුද්ගලයින්, නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩී.එන්.ආර්. අශෝක මහතා පත් කර තිබේ. කේ.ඩී. එස්. රුවන් චන්ද්‍ර මහතා පත් කර ඇත්තේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසයි.