සිරස නත්තල් කලාපය හෙට ඇරඹේ

සිරස නත්තල් කලාපය හෙට ඇරඹේ

by Staff writer 20-12-2018 | 10:27 PM
COLOMBO (News 1st) - අසිරිමත් නත්තලේ සිරි අසිරි ඔබට තිළිණ කරමින් සිරස නත්තල් කලාපය කොළඹ 02 බේබෘෘක් පෙදෙසේ පිහිටි කොළඹ ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී හෙට පස්වරුවේ ආරම්භ වීමට නියමිත ය. මෙවර නත්තල් කලාපය පැවැත්වෙන්නේ 4 වන වරටයි. හෙට ආරම්භ වන නත්තල් කලාපය එළැඹෙන 23 වන දා දක්වා පස්වරු 5.00 සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතී. රෝමයේ වතිකානයේදී ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් ආශිර්වාද ගැන්වූ දේව මාතා ප්‍රතිමාව දැක බලා ගැනීමට මෙවරත් සිරස නත්තල් කලාපයේදී බැතිමතුන්ට අවස්ථාව හිමි වෙයි. දැවැන්ත නත්තල් ගසක් ද මෙවරත් සිරස නත්තල් කලාපයේ ඉදිකර තිබේ. කුඩා දරුවන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂාංග රැසක් ද නත්තල කලාපයට අයත් ය. හිමලන්තය, මැජික් සංදර්ශන දැක බලා ගැනීමට මෙන්ම නත්තල් කැරොල් ගී රස විඳීමටත් මෙවරත් සිරස නත්තල් කලාපයේදී අවස්ථාව හිමිව ඇති අතර දිනපතා පැවැත්වෙන සංගීත සංදර්ශන විචිත්‍රවත් වන්නේ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙනි. මේ අතර නිව්ස්ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සජීවීව විකාශය කරන ආකාරය දැක බලා ගැනීමට ද සිරස නත්තල් කලාපයේදී ඔබට අවස්ථාව උදාකර දී තිබේ.