මැතිව්ස් - මෙන්ඩිස් පිතිහරඹය නවසීලන්තට අභියෝගයක්

මැතිව්ස් - මෙන්ඩිස් පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බව නවසීලන්ත ක්‍රිකට් නායකයා කියයි

by Staff writer 20-12-2018 | 7:09 AM

ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ, දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් විය. එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 282 ට පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 578 ක් රැස් කළේ ය. ප්‍රබල තත්ත්වයක සිටි නවසීලන්තයට තරගය ජය ගැනීමට තිබූ අවස්ථාව අහිමි වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සිව්වැනි කඩුල්ලට ගොඩනැගු ලකුණු 274 ක නොබිඳුනු සබඳතාවයි. වසර 10 කට පසුව පළමු වරට ටෙස්ට් තරගයක දිනක් පුරා පිටියේ රැඳි සිටි පිතිකරු යුගල මෙන්ම ටෙස්ට් ඉනිමකදී නවසීලන්තයට එරෙහිව වාර්තා කළ හොඳම ශ්‍රී ලංකා පිතිකරු සබඳතාව සටහන් කිරීමට ද ඔවුන් දෙදෙනා සමත් විය. නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසන්නේ, මැතිව්ස්ගෙන් සහ මෙන්ඩිස්ගෙන් තම පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් හිමි නොවූ බවයි. ඔවුන් දෙදෙනා අතර වූ සබඳතාව බිඳ දැමීම සඳහා සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කළ ද එය අසාර්ථක වූ බවට විලියම්සන් සඳහන් කළේ ය. විනයකින් යුතුව සහ ආකර්ශනීය ලෙස මැතිව්ස් සහ මෙන්ඩිස් ක්‍රීඩා කළ බව පවසන විලියම්සන් සඳහන් කළේ, දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට තමන් සූදානම් බවයි. දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වැනි දා ක්‍රයිස්චර්ච්හිදී ආරම්භවීමට නියමිත වේ.