ලබන වසරට පෙර සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහනක්

නව පාසල් වාරයට පෙර සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන් පවත්වන්නැයි උපදෙස්

by Staff writer 20-12-2018 | 9:21 AM

COLOMBO (News 1st) - නව පාසල් වාරය ආරම්භවීමට පෙර සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය පැවසුවේ, එළඹෙන 30 සහ 31 දෙදින ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස සියලුම විදුහල්පතිවරුන්, ඇතුළු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළ බවයි. ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බැවින් දෙමාපියන් හා එක් ව 2019 නව පාසල් වාරයට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කරන ලෙස විදුහල්පතිවරුන්ට මේ වන විටත් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මේ අතර බස්නාහිර පළාතේ මදුරු කීටයින් සහිත ස්ථාන 1302 ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය. ඒ, ජාතික ඩෙංගු මර්දන ඒකකය දින දෙකක් තුළ කළ මෙහෙයුමකිනි. හඳුනාගත් ස්ථාන අතර 26% ක් පාසල් පරිශ්‍ර බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. පරිශ්‍රවලින් 34% ක් ආගමික ස්ථානවන අතර ඊට අයත් ඉදිකිරීම් පරිශ්‍ර සංඛ්‍යාව 49.6% ක්. ජාතික ඩෙංගු මර්දන ඒකකය දින දෙකක් තුළ මෙම මෙහෙයුම දියත් කර තිබුණේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ද සහයෙනි. එම මෙහෙයුමේදී පරිශ්‍ර 57657 ක් නිරීක්ෂණයට ලක් විය.