මාලිංග ඉන්දීය රු. කෝටි 2කට අලෙවි වෙයි

IPL වෙන්දේසියේදී ලාංකික ක්‍රීඩකයින් අතරින් අලෙවි වූ එකම ක්‍රීඩකයා බවට මාලිංග පත් වෙයි

by Staff writer 19-12-2018 | 2:32 PM
COLOMBO (News 1st) - එළැඹෙන 2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට අදාළ වූ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් අලෙවි වූ එකම ක්‍රීඩකයා බවට පත් වීමට වත්මන් එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායම්වල නායකත්වයට පත් ලසිත් මාලිංග සමත් විය. අදාළ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2ක ලංසුව යටතේ ඉදිරිපත් වූ මාලිංගව මෙතෙක් කලක් ඔහු ක්‍රීඩා කරන ලද මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ය. මූලික මුදල වූ රුපියල් කෝටි 2 යටතේ ලංසුව ආරම්භ වීමත් සමග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මාලිංගගේ ලංසුව අනුමත කළ අතර අනතුරුව වෙනත් කණ්ඩායමක් ලංසු ඉදිරිපත් කිරීමට නොපෙළඹීම මත ඉදිරිපත් වූ මුදලටම මාලිංගව මිලදී ගැනීමට මුම්බායි කළමනාකාරිත්වයට හැකි වීම කැපී පෙනුන කරුණකි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹි 2008 වසරේ සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලද ලසිත් මාලිංග, ආරම්භයේ සිටම එකම කණ්ඩායමක් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් අතලොස්සට අයත් වන ක්‍රීඩකයෙකු වේ. අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාවට ද හිමිකම් කියන මාලිංගව අවසන් වසරේ පැවති තරගාවලියේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවුණ ද පන්දු යවන්නෙකු වශයෙන් මාලිංග සතු වන උපක්‍රමශීලී භාවයෙහි වටිනාකම දත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වය පන්දු යැවීමේ විශේෂ පුහුණුකරුවෙකු ලෙසින් තබා ගැනීමට පියවර ගැනීම විශේෂත්වයකි. මාලිංගට අමතරව මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරාගේ නම් ලංසුවට ඉදිරිපත් වූ නමුත් ඔවුන් මිලදී ගැනීම සඳහා කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. මෙහිදී මැතිව්ස් ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික ලංසුව යටතේ ද, කුසල් පෙරේරා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මූලික ලංසුව යටතේ ද ඉදිරිපත් විය. අදාළ වෙන්දේසියේ මූලික වටය යටතේ නවසීලන්තයෙන් ඉදිරිපත් වූ බ්‍රෙන්ඩන් මැකලම්, මාටින් ගප්ටිල්, කොරේ ඇන්ඩර්සන් සහ ලුක් රොන්කි ද, ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඇඩම් සම්පා, උස්මාන් කවාජා සහ ෂෝන් මාෂ් ද, එංගලන්තය නියෝජනය කරමින් ක්‍රිස් ජෝර්ඩ්න්, ක්‍රිස් වෝක්ස් සහ ඇලෙක්ස් හේල්ස් ද, ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ යුවරාජ් සිං සහ චෙටේෂ්වර පුජාරා ද, දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් හෂීම් අම්ලා සහ රීසා හෙන්රිකස්, ජේසන් හෝල්ඩර් සහ මුෂ්ෆිකර් රහීම් ද අලෙවි නොවූ ක්‍රීඩකයින් බවට පත් විණි. කෙසේ වෙතත් තෙවන වටයේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් යුවරාජ් සිංව ද සන්රයිස් හයිද්‍රාබාද් පිළ වෙනුවෙන් නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල්ව ද ඉන්දීය රුපියල් කෝටිය බැගින් මිලදී ගත්තේ ය. මෙවර අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් ලොව පුරා විසිරී සිටින ක්‍රීඩකයින් 1003 දෙනෙකු ලියාපදිංචි වී තිබුණ ද ජායිපුර්හිදී ඊයේ පැවති ලංසුව වෙනුවෙන් ඉන් තෝරාගත් ක්‍රීඩකයින් 351 දෙනෙක් ඉදිරිපත් වී සිටියහ. මෙම වෙන්දේසියේ ප්‍රථමයෙන්ම අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වූයේ හනුමා විහාරී වන අතර ඔහු ඉන්දීය මුදලින් රුපියල් කෝටි 2කට දිල්ලි කැපටිල්ස් පිළ විසින් මිලදී ගත්තේ ය.