පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්: දර්ශන නැරඹීම හෙට

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම් සම්බන්ධ සියලු දර්ශන හෙට නැරඹීමේ තීරණයක්

by Staff writer 19-12-2018 | 2:03 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ පසුගියදා සිදු වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සියලු වීඩියෝ දර්ශන හෙට දිනයේ නැරඹීමට ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව තීරණය කර තිබේ. එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සභා ගර්භයේ කැමරා පද්ධතියේ සටහන් වූ දර්ශන මෙන්ම රූපවාහිනී මාධ්‍ය තුළින් හා සමාජ මාධ්‍ය ජාල මගින් පළ වූ දර්ශන ද මෙහිදී නැරඹීමට නියමිත බව ය. ඉන් අනතුරුව අදාළ ගැටුම්කාරී තත්ත්වයට මූලිකත්වය ගත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් හඳුනා ගැනීමට හැකිවනු ඇති බව ද ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ ය. මේ අතර පාර්ලිමේන්තුවේ කලහකාරී තත්ත්වය පැවති අවස්ථාවේදී සභාගර්භයේ දේපළවලට සිදු වූ හානිය ද මේ වන විට තක්සේරු කර තිබේ. නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ, එය රුපියල් 330,000ක් ලෙසට ගණන් බලා ඇති බව ය. ඊට සම්බන්ධ පිරිස් හඳුනා ගැනීම සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ ය.