by Staff writer 19-12-2018 | 4:32 PM
COLOMBO (News 1st) : ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් CID අත්අඩංගුවට පත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සලී තෝමස් යන සැකකරුවන් ලබන 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ත්‍රස්ත වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 7 (2) වගන්තිය යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔහුට ඇප ලබාදීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි.
ඒ අනුව නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ය.
මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නාමල් කුමාර මහතාගේ ජංගම දුරකථනයෙන් මකා දමන ලද හඬ පට කිහිපයක් සොයගෙන තිබේ.
ඒ අදාළ දුරකථනය පරීක්ෂාව සඳහා හොංකොං බලා රැගෙන ගිය නිලධාරීන් පිරිසක් විසිනි.
ඒ අනුව සොයාගත් හඬපට ඇතුළත් Pen Drive සහ අදාළ විශේෂඥවරුන්ගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දෙනු ලැබ තිබේ.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන් භාරයේ ඇති අදාළ හඬ පට සහ අදාළ වාර්තාවේ පිටපත් ආශ්‍රයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.